2026-10-06 20:36:00 Hours
මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකර වත්මන් මිල ගණන් යටතේ පවත්වාගෙන යාමට හැකි බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා පවසනවා.
අද (06) පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ, ඉදිරි මාස තුන තුළ විශාල ගැටලුවක් ඇති නොවන්නේ නම් වත්මන් ඉන්ධන මිල සහ සැපයුම් තත්ත්වය පවත්වාගෙන යාමට හැකි බවයි.
වෙනත් ඉන්ධන සමාගම් විසින් ඉන්ධන නිකුත් කිරීම අඩු කිරීම හේතුවෙන් ඇතැම් ප්‍රදේශවල තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකි බවද ඔහු සඳහන් කළා.
එවැනි තත්ත්වයක් ඇතිවිය හැකි ප්‍රදේශ 62ක් පමණ මීට සති තුනකට පෙර හඳුනාගෙන ඇති බවත්, එම ප්‍රදේශ සඳහා වැඩි ඉන්ධන ප්‍රමාණයක් නිකුත් කිරීමට අදාළ සමාගම් සමඟ එකඟතාවකට පැමිණ ඇති බවත් ඛනිජ තෙල් සංස්ථා සභාපතිවරයා පැවසුවා.
ඒ අනුව රට තුළ ඉන්ධන සම්බන්ධයෙන් විශාල ගැටලුවක් ඇතිවීමට හේතුවක් නොමැති බවයි ඔහු අවධාරණය කළේ.
ඉන්ධන හිඟයක් ඇතිවේයැයි අනවශ්‍ය ලෙස කලබල වී පිරවුම්හල්වල පෝලිම්වල රැඳී නොසිටින ලෙසද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියා.
වෙනත් සමාගම්වල පිරවුම්හල්වල ඉන්ධන හිඟයක් හෝ පෝලිම් පවතින්නේ නම්, ආසන්නතම ඛනිජ තෙල් සංස්ථා පිරවුම්හල වෙත යන ලෙසද ඔහු දැනුම් දුන්නා.
මේ අතර, ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන සංචිත සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නොමැති බවත්, සෑම අඟහරුවාදා දිනකම ඉන්ධන තොග සම්බන්ධයෙන් සමාලෝචනයක් සිදුකරන බවත් ඩී.ජේ. රාජකරුණා මහතා සඳහන් කළා.
එම සමාලෝචනයේදී තවත් ඉන්ධන නෞකා දෙකක් කඩිනමින් ගෙන්වීමට කටයුතු කර ඇති බවත්, මෙම මාසයට අවශ්‍ය ප්‍රමාණයට අමතරව වැඩි ඉන්ධන තොගයක් ගෙන්වීමටද පියවර ගෙන ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසුවා.
"ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හැර අනෙකුත් සමාගම් තෙල් නිකුත් කිරීම අඩු කිරීම හේතුවෙන් යම් යම් ප්‍රදේශවල තෙල් හිඟයක් ඇතිවෙන්න පුළුවන්. නමුත් එවැනි තත්ත්වයක් ඇතිවිය හැකි ස්ථාන අපි මීට සති තුනකට පමණ පෙර හඳුනාගත්තා.
ඛනිජ තෙල් සංස්ථාවේ පිරවුම්හල් නොමැති සමහර ප්‍රදේශ තියෙනවා. එම ප්‍රදේශවලට තෙල් නිකුත් කිරීම අඩු වුණාම යම් ගැටලුවක් ඇතිවෙන්න පුළුවන්. ඒ හින්දා ඇති කරගත් එකඟතාව අනුව, නිකුත් කරන තෙල් ප්‍රමාණයෙන් ප්‍රමුඛතාවය එම ප්‍රදේශවලට ලබාදෙන්න කියලා අපි ඉල්ලා සිටියා.
එවැනි ස්ථාන 62ක් අපි හඳුනාගෙන තිබෙනවා. එම ප්‍රදේශවලට වැඩිපුර තෙල් නිකුත් කිරීමට අනෙකුත් සමාගම් එකඟ වී තිබෙනවා. ඒ හින්දා රටේ තෙල් සම්බන්ධයෙන් ලොකු ප්‍රශ්නයක් ඇතිවෙන්න හේතුවක් නැහැ.
ජනතාවට අපි ආයාචනා කරන්නේ, කවුරුත් කියන දේකට කලබල වෙලා නිකරුණේ පෝලිම්වලට යන්න එපා කියලයි. යම් ගැටලුවක් තිබෙනවා නම් අනෙක් සමාගම්වල පිරවුම්හල්වල තෙල් අඩු විය හැකියි. එවැනි පෝලිමක් තිබෙනවා නම් ළඟම තියෙන ඛනිජ තෙල් සංස්ථාවේ පිරවුම්හලට යන්න. එම පිරවුම්හල්වල තෙල් තියෙනවා.
මේ මාසයේ අවසානය වනතුරු තෙල් මිල වැඩිවීමක් සිදුවෙන්නේ නැහැ. බොහෝවිට මේ මාස තුනේම ලොකු ගැටලුවක් ඇති නොවුණොත්, මේ තත්ත්වය මේ ආකාරයෙන් පවත්වාගෙන යාමේ හැකියාව අපිට තියෙනවා.
තෙල් සංස්ථාව හැටියට තෙල් සංචිතවල කිසිදු ගැටලුවක් නැහැ. අනෙක් සමාගම් තෙල් නිකුත් කිරීම අඩු කරනවාත් එක්ක, ඔක්තෝබර් මාසයට සමහර සමාගම් තෙල් ගේන්නේ නැහැ. මොකද ගේන්න අවශ්‍යතාවක් නැහැ. ඒ අය තෙල් නිකුත් කිරීම අඩු කරලා තියෙන නිසා, ඒ අයගේ ගිණුම්වල තෙල් තියෙනවා.
ඒ හින්දා ඛනිජ තෙල් සංස්ථාව හැටියට අපි සෑම සතියකම අඟහරුවාදා තෙල් තොග සම්බන්ධයෙන් සමාලෝචනයක් කරනවා. ඒ සමාලෝචනයේදී අපි තවත් නැව් දෙකක් ඉක්මන් කරලා තියෙනවා. ඒ අනුව මේ මාසයට අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩිපුරත් තෙල් ගෙන්වනවා."
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk