2026-10-06 20:47:00 Hours

දින 100කට පසු සුරේෂ් සලේ යළි CID භාරයට


...

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ මහතා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර අවසන් කර අද (06) පස්වරුවේ යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබෙනවා.

දින 100කට අධික කාලයක් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබූ සුරේෂ් සලේ මහතා රෝහලෙන් පිටව යාමට සුදුසු බවට ඔහුට ප්‍රතිකාර කළ වෛද්‍යවරුන් දසදෙනෙකුගෙන් සමන්විත වෛද්‍ය මණ්ඩලය අද අධිකරණයට දැනුම්දී තිබුණා.

ඒ අනුව, අදාළ වෛද්‍ය මණ්ඩලයේ සාමාජිකයින්ට අද අධිකරණයේ පෙනී සිටින ලෙස කොටුව මහේස්ත්‍රාත්වරයා මීට පෙර නොතීසි නිකුත් කර තිබුණා.

වෛද්‍ය මණ්ඩලයේ දැනුම්දීමෙන් අනතුරුව අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පිරීස් මහතා අධිකරණයට දැනුම්දී ඇත්තේ, සුරේෂ් සලේ මහතා අද පස්වරුවේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගන්නා බවයි.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව සැකකරුවෙකු ලෙස නම් කර ඇති සුරේෂ් සලේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

පසුව ඔහු දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාගෙන තිබූ අතර, එම කාලය තුළ තමන්ට අමානුෂික වධහිංසා සිදුවන බව පවසමින් ඔහු ආහාර වර්ජනය කරමින් මාරාන්තික උපවාසයක්ද ආරම්භ කළා.

ඒ හේතුවෙන් සෞඛ්‍ය තත්ත්වය අවදානම් සහගත වීමෙන් පසු සුරේෂ් සලේ මහතා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබා තිබුණා.

මේ අතර, දින 90ක රැඳවුම් නියෝගය අවසන් වීමෙන් පසු එය යළි දීර්ඝ නොකරන ලෙස ඉල්ලා සුරේෂ් සලේ මහතාගේ බිරිඳ මනෝරි සලේ සහ මව ජනාධිපතිවරයා වෙත ලිපි යොමු කර තිබුණා.

එම ලිපි මගින් ඔවුන් ඉල්ලා තිබුණේ රැඳවුම් නියෝගය යළි දීර්ඝ නොකර සුරේෂ් සලේ මහතා රක්ෂිත බන්ධනාගාරගත කර ඉදිරි විමර්ශන සිදුකරන ලෙසයි.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk