2026-10-06 17:39:00 Hours

ඉරාන නෞකා ගැන තීරණ ගන්නේ ජනතාවගේ ආරක්ෂාව අනුවයි - ඇමති නලින්ද


...

ශ්‍රී ලංකාවට ආසන්න මුහුදු සීමාවේ රැඳී සිටින ඉරාන නෞකා සම්බන්ධයෙන් පැන නැගී ඇති තත්ත්වය හමුවේ රජය තීන්දු තීරණ ගනු ලබන්නේ රටේ සහ ජනතාවගේ ආරක්ෂාව සැලකිල්ලට ගනිමින් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

අද (06) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී යොමු කළ පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

ඉරාන නෞකා සඳහා පහසුකම් සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට සම්බාධක පැනවීමේ අවදානමක් ඇති බවට අමෙරිකාවෙන් අනතුරු ඇඟවීමක් සිදුකර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා පළවී තිබෙනවා. ඒ අතර, මීට අදාළ අමෙරිකානු ද්විතීයික සම්බාධක ප්‍රතිපත්තිය ශ්‍රී ලංකාව ඉලක්ක කරගත් එකක් නොවන බව විදේශ අමාත්‍යාංශයද මීට පෙර පැහැදිලි කර තිබුණා.

කෙසේ වෙතත්, මෙම තත්ත්වය සම්බන්ධයෙන් රජය තීන්දු ගනු ලබන්නේ රටේ සහ ජනතාවගේ ආරක්ෂාව මූලික කරගනිමින් බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කළා.

අතීතයේ පැවති යුදමය තත්ත්වයන්හිදී පවා රජය තීන්දු ගනු ලැබුවේ රටේ සහ ජනතාවගේ ආරක්ෂාව සැලකිල්ලට ගනිමින් බවත්, කිසිදු පාර්ශ්වයකට පක්ෂපාතී නොවී කටයුතු කළ බවත් ඔහු සඳහන් කළා.

එමෙන්ම, යුදමය කාලසීමාවලදී දෙපාර්ශ්වයෙන්ම මෙරටින් පහසුකම් ඉල්ලා සිටි අවස්ථාවලදී මානුෂීය පදනම මත පමණක් මැදිහත්වීම් සිදුකළ බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.

"අපේ අනන්‍ය මුහුදු සීමාව තුළ නාවික සැතපුම් 12ක සීමාව තුළ නැහැ. එතකොට ජාත්‍යන්තර මුහුදේ ඉන්දියානු සාගරයේ මේ නැව් ඕන තරම් පවතිනවා. අනික මේ වෙලාවේ යුදමය තත්ත්වයක් පවතිනකොට, හෝමූස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව විවිධ ප්‍රශ්න මතුවෙනකොට මෙවැනි යාත්‍රා හැම පැත්තෙම ඒවා තියෙන්න පුළුවන්කමක් තියෙනවා.

මේ නිවේදන නිකුත් කරලා තියෙන්නේ අපිට විශේෂයක් කරලා නෙමෙයි. මෙවැනි අවස්ථාවකදි අමෙරිකා එක්සත් ජනපදයත් මේ යුද්ධයේ එක පාර්ශ්වයක් නියෝජනය කරනවා. එතකොට රටක් හැටියට ඔවුන්ගේ මතය ඉදිරිපත් කරනවා ලෝකයේ ඕනෑම රටකට මේ වගේ ද්විතීක සම්බාධක පැනවෙන්න පුළුවන් මෙහෙම සැපයුමක් කළොත් කියන එක.

මම හිතන්නේ අපි ඒ ගැන සැලකිලිමත් වෙන්නත් ඕනේ. කෙසේ නමුත් අපි තීන්දු ගන්නේ අපේ රටේ ජනතාවගේ ආරක්ෂාව පිළිබඳව සිතමින්. අපි මීට වඩා අමාරු වෙලාවක, යුද්ධයේ දරුණුතම වෙලාවෙදිත් අපි ඉතාම දූරදර්ශී තීන්දු ලබා ගත්තා අපි එක පැත්තකටවත් පක්ෂපාතී වුණේ නෑ, කාටවත් එහෙම අමතර පහසුකම් සලසන්න ගියේ නෑ.

දෙපාර්ශ්වයම අපෙන් පහසුකම් ඉල්ලා තිබුණා හැබැයි අපි ඉතාම මානුෂීය පදනමේන් ඒ ප්‍රශ්නයට මැදිහත් වෙලා යුද්ධයට සම්බන්ධ කොයි පාර්ශ්වය වුණත් ජීවිත ආරක්ෂා කරගන්නා ආකාරයට තමයි ජනාධිපතිතුමා සහ රජයේ මැදිහත්වීම සිදුවුණේ.

ඒ නිසා මේකෙදිත් අපි අපේ රටේ ආරක්ෂාව ගැන හිතනවා, අපේ රටේ ජනතාව ගැන හිතනවා ඒ අනුව තමයි කටයුතු කරන්නේ. ඒ නිසා අපිට කියපු එකක් නෙමෙයි ලෝකේ හැමෝටම කිව්වා මෙහෙම වුණොත් එහෙම ද්විතීක සම්බාධක දානවා කියලා ඉතිං අපිත් ඒ ගැන සැලකිලිමත් වෙන එක හොඳයි."



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk