2026-10-04 21:28:00 Hours

ඉරාන නෞකා ගැන අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට කිසිදු බලපෑමක් නැහැ - විජිත


...

ශ්‍රී ලංකා රජය තීන්දු තීරණ ගනු ලබන්නේ රටේ ස්වෛරීභාවය සහ අනන්‍යතාව ආරක්ෂා කරමින් බවත්, ඕනෑම මානුෂීය අවශ්‍යතාවකදී සුදුසු පරිදි මැදිහත්වීමට රජය සූදානම් බවත් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.

මෙරට මුහුදු සීමාව ආසන්නයේ රැඳී සිටින ඉරාන නෞකා සම්බන්ධයෙන් පළවන වාර්තා පිළිබඳ පැහැදිලි කරමින් අද (04) පැවති උත්සවයකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

ඔහු කියා සිටියේ හෝමූස් සමුද්‍ර සන්ධියේ පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් නාවික ගමනාගමනය සංකීර්ණ වී ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ. ශ්‍රී ලංකාවට අමතරව මැලේසියාව සහ ඉන්දුනීසියාව වැනි රටවල් ආසන්නයේ පිහිටි ජාත්‍යන්තර මුහුදු සීමාවන්හිද මෙලෙස නෞකා රැඳී සිටින බවයි.

ශ්‍රී ලංකාව ආසන්න ජාත්‍යන්තර මුහුදේ නෞකා 47ක් පමණ රැඳී සිටින අතර, ඒවා මෑතකදී පැමිණි නෞකා නොවන බවත්, දීර්ඝ කාලයක සිට එම ජාත්‍යන්තර මුහුදු සීමාවේ රැඳී සිටින නෞකා බවත් විජිත හේරත් මහතා පැවසුවා.

එම නෞකා අතරින් 19ක් ඉරාන නෞකා වන නමුත්, ඒවා ශ්‍රී ලංකාවේ මුහුදු සීමාව තුළ නොමැති බවද අමාත්‍යවරයා තහවුරු කළා.

මේ අතර, අදාළ නෞකාවලට ආහාර හෝ ජලය සැපයීම වළක්වන ලෙස අමෙරිකාව ශ්‍රී ලංකාවට දැනුම් දී ඇති බවට පළවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව විජිත හේරත් මහතා අවධාරණය කළා. ශ්‍රී ලංකා රජයට ඒ සම්බන්ධයෙන් අමෙරිකාවෙන් කිසිදු බලපෑමක්, මැදිහත්වීමක් හෝ දැනුම්දීමක් සිදුකර නොමැති බවද ඔහු කියා සිටියා.

එසේම, IRIS Bushehr නෞකාව තවමත් ත්‍රිකුණාමලය වරායේ රැඳී සිටින බවත්, එහි සිටින නාවිකයන් 13 දෙනාට අවශ්‍ය ආහාර, නවාතැන් සහ ආරක්ෂාව ලබාදෙමින් නෞකාව ආරක්ෂිතව පවත්වාගෙන යාමට ශ්‍රී ලංකාව කටයුතු කරමින් සිටින බවත් අමාත්‍යවරයා පැවසුවා.

කෙසේ වෙතත්, අමෙරිකානු සම්බාධක පනවා ඇති නෞකාවලට භාණ්ඩ ප්‍රවාහනය කිරීම හෝ සැපයුම් ලබාදීම ශ්‍රී ලංකා රජය විසින් සිදුකර නොමැති බවයි ඔහු පැහැදිලි කළේ.

ශ්‍රී ලංකාව සෑම විටම ජාත්‍යන්තර සාගර නීතියට අනුකූලව කටයුතු කරන බවද විජිත හේරත් මහතා පැවසුවා.

ශ්‍රී ලංකාවේ භූ දේශපාලනික වැදගත්කම හේතුවෙන් ලොව විවිධ රටවලට අයත් නෞකා විශාල සංඛ්‍යාවක් දිනපතා දිවයින ආසන්නයෙන් ගමන් කරන බවත්, අවශ්‍ය ඕනෑම අවස්ථාවක එම නෞකාවලට සහයෝගය සහ මගපෙන්වීම ලබාදීම රටක් ලෙස ශ්‍රී ලංකාවේ වගකීමක් බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

"අමෙරිකාව අපේ ආණ්ඩුවට එහෙම දැනුම්දීමක්, මැදිගත්වීමක් හෝ බලෑමක් කරලා නෑ. ඒ නිසා එහෙම එකක් නෑ. එලෙස තියෙනවා නම් සම්පූර්ණයෙන් වැරදි අදහසක්.

අපේ ස්වෛරීත්වය, අනන්‍යතාව ආරක්ෂා කරගනිමින් තමයි අපි සියලුම තීන්දු තීරණ ගන්නේ. කෙසේ නමුත් මානුෂීය හේතූන් මත අපේ අවශ්‍යතාවක් ඇති වුණොත් ඒ අවශ්‍යකරන මැදිහත් වීමත් අපි කරනවා".



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk