2026-09-01 09:47:00 Hours

වර්ෂාව නොලැබුණොත් විදුලි බිල ඉහළ යාමේ අවදානමක් - ඩී.වී. චානක


...

ඉදිරි කාලයේදී අපේක්ෂිත පරිදි වර්ෂාපතනයක් නොලැබුණහොත් විදුලි ගාස්තු ඉහළ යාමේ අවදානමක් පවතින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික කැඳවුම්කරු, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා පවසනවා.

මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ ඊයේ (31) රුපවාහිනී සංවාද වැඩසටහනකට එක්වෙමින්.

වත්මන් රජය විදුලි ගාස්තු තුනෙන් එකකින් අඩු කරන බවට ප්‍රකාශ කළද, මේ වනවිටත් පැවති මට්ටමට සාපේක්ෂව විදුලි ගාස්තු තුනෙන් එකකින් පමණ ඉහළ ගොස් ඇති බව ඔහු පෙන්වා දෙනවා.

ඒ මහතා සඳහන් කරන්නේ ඉදිරියේදී යළිත් විදුලි ගාස්තු ඉහළ දැමීමට සිදුවුවහොත් එය ජනතාවට මෙන්ම එළඹෙන සංචාරක සමය හමුවේ සංචාරක කර්මාන්තයටද දැඩි බලපෑමක් එල්ල කරනු ඇති බවයි.

පසුගිය කාලයේ ලැබුණු වර්ෂාපතනය හේතුවෙන් යම් ප්‍රමාණයකට ජල විදුලිය උත්පාදනය කිරීමට හැකි වූ බවත්, දහවල් කාලයේදී සූර්ය බලශක්තිය භාවිත කිරීම මඟින් විදුලි පද්ධතිය ස්ථාවර කර ගැනීමට හැකි වූ බවත් ඩී.වී. චානක මහතා පැවසුවා.

එමෙන්ම පසුගිය විදුලි ගාස්තු සංශෝධනයේදී ගල් අඟුරු සම්බන්ධ පාඩුවෙන් සියයට 10කට ආසන්න ප්‍රමාණයක් පමණක් ගාස්තු සඳහා ඇතුළත් කර ඇති බවද ඔහු සඳහන් කළා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ ඉදිරියේදී නව ගල් අඟුරු නෞකා පැමිණ ඒවා මඟින් විදුලිය උත්පාදනය කිරීම ආරම්භ කරන තෙක් අදාළ පාඩුවෙන් සම්පූර්ණයෙන් මිදීමට නොහැකි වනු ඇති බවත්, එම පාඩුව බදු මුදල් හරහා හෝ විදුලි පාරිභෝගිකයන්ගෙන් අයකර ගැනීමට සිදුවනු ඇති බවත්ය.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk