2026-11-11 12:05:00 Hours

යාපනයටත් මෙට්‍රෝ බස් සේවාවක් - 2027 මැදදී ආරම්භ කිරීමට සැලසුම්


...

රජයේ මෙට්‍රෝ නාගරික සුඛෝපභෝගී බස් රථ සේවාව යාපනය දිස්ත්‍රික්කය දක්වා ව්‍යාප්ත කිරීමේ මූලික කටයුතු ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව යාපනය නගරයේ මෙට්‍රෝ බස් රථ ධාවනයට සුදුසු මාර්ග හඳුනා ගැනීම, තාක්ෂණික ශක්‍යතාව ඇගයීම සහ අවශ්‍ය යටිතල පහසුකම් පරීක්ෂා කිරීම සඳහා විශේෂ මාර්ග පරීක්ෂණයක් සහ පෙරහුරු ධාවනයක් ඊයේ (10) සිදු කෙරුණා.

යාපනය වෙරළ පාරේ පිහිටි මාර්ග සංවර්ධන අධිකාරියේ උතුරු පළාත් ව්‍යාපෘති අධ්‍යක්ෂ කාර්යාලයේදී මීට පෙර මේ සම්බන්ධයෙන් මූලික සාකච්ඡාවක් ද පවත්වා තිබෙනවා.

යාපනයේ මෙට්‍රෝ බස් රථ සේවාව 2027 වසරේ මැද භාගයේදී ආරම්භ කිරීම රජයේ ඉලක්කය වී ඇති බවයි සඳහන් වන්නේ.

ඊයේ (10) පැවැති පරීක්ෂණයේදී පහත් පතුල් සහිත මෙට්‍රෝ බස් රථ ධාවනයට සුදුසු මාර්ග හඳුනා ගැනීම, බස් රථවල තාක්ෂණික අවශ්‍යතා ඇගයීම, නව බස් නැවතුම්පොළ ඉදිකිරීම සහ ඒ ආසන්නයේ පෞද්ගලික වාහන නැවැත්වීමේ පහසුකම් සැලසීම පිළිබඳව ද අවධානය යොමු වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කළේ බස් රථ 10කින් නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කළ මෙට්‍රෝ බස් සේවාව මේ වන විට බස් රථ 122ක් දක්වා වර්ධනය වී ඇති බවයි.

එමෙන්ම බස්නාහිර පළාතේ කොළඹ, ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්ක තුනම මේ වන විට එම සේවාවෙන් ආවරණය වන බව ද ඔහු සඳහන් කළා.

කොළඹදී ලැබූ අත්දැකීම් මත පදනම්ව ව්‍යාපෘතියේ මීළඟ අදියර සඳහා යාපනය සහ මහනුවර දිස්ත්‍රික්ක තෝරාගෙන ඇති බවත්, 2029 වසර දක්වා ක්‍රියාත්මක ජාතික සැලැස්ම යටතේ ශ්‍රී ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් සමාගම හරහා සියයට සියයක්ම රජයේ මූල්‍ය ප්‍රතිපාදන මත මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk