2026-11-25 19:41:00 Hours
අමෙරිකානු වෙළෙඳපොළට බලපෑම් එල්ල කරන බවට චෝදනා කරමින් චීනය, ඉන්දියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳ හවුල්කරුවන් 14කින් ආනයනය කරන භාණ්ඩ සඳහා නව තීරුබදු පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය යෝජනා කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, නිෂ්පාදන කර්මාන්තවල පවතින අතිරික්ත නිෂ්පාදන ධාරිතාව සහ රජයන් ලබාදෙන සහනාධාර හේතුවෙන් අමෙරිකානු නිෂ්පාදකයන්ට අසාධාරණ තරගකාරීත්වයකට මුහුණදීමට සිදුවන බවට එරට පරිපාලනය කරන චෝදනා මෙම තීරණයට හේතු වී ඇති බවයි.
ඒ අනුව චීනය, ඉන්දියාව, බංග්ලාදේශය, කාම්බෝජය, ඉන්දුනීසියාව, ජපානය, දකුණු කොරියාව, මැලේසියාව, සිංගප්පූරුව, ස්විට්සර්ලන්තය, තායිවානය, තායිලන්තය, වියට්නාමය සහ යුරෝපා සංගමය මෙම නව තීරුබදු යෝජනාවට ඇතුළත් කර තිබෙනවා.
යුරෝපා සංගමය මෙහිදී එක් වෙළෙඳ හවුල්කරුවෙකු ලෙස සලකා ඇති අතර, එයට සාමාජික රටවල් 27ක් ඇතුළත්.
කෙසේ වෙතත්, නව තීරුබදු යෝජනාවට ශ්‍රී ලංකාව ඇතුළත් කර නැහැ. මෙක්සිකෝව සහ නෝර්වේ යන රටවල් ද මේ අවස්ථාවේදී යෝජිත තීරුබදුවලට ඇතුළත් කර නොමැති අතර, ඒවා සම්බන්ධයෙන් විමර්ශන තවදුරටත් සිදුකෙරෙන බව වාර්තා වනවා.
අමෙරිකානු වෙළෙඳ නියෝජිත කාර්යාලය (USTR) විසින් 1974 වෙළෙඳ පනතේ 301 වගන්තිය යටතේ මාස අටක පමණ කාලයක් සිදුකළ විමර්ශනයකින් අනතුරුව මෙම යෝජනාව ඉදිරිපත් කර තිබෙනවා. එම විමර්ශනයට රටවල් 14ට අමතරව මෙක්සිකෝව සහ නෝර්වේ ද ඇතුළුව වෙළෙඳ හවුල්කරුවන් 16ක් ඇතුළත් වූ බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.
යෝජිත තීරුබදු අතරින් ඉහළම අනුපාතය චීනයට අදාළව ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව චීන භාණ්ඩ සඳහා අතිරේක සියයට 20ක තීරුබද්දක් යෝජනා කර ඇති අතර, එය ඇතැම් භාණ්ඩ සඳහා දැනට පවතින තීරුබදු සමඟ එකතු වූ විට සමස්ත බදු අනුපාතය සියයට 45ක් දක්වා ඉහළ යා හැකි බව ඇසෝසියේටඩ් ප්‍රෙස් (AP) වාර්තා කරනවා.
එමෙන්ම යුරෝපා සංගමය, ජපානය, දකුණු කොරියාව සහ තායිවානය සඳහා සියයට 15ක උපරිම තීරුබදු සීමාවක් ද, මැලේසියාව සඳහා සියයට 19ක සීමාවක් ද පවතින වෙළෙඳ ගිවිසුම්වලට අනුකූලව පවත්වාගෙන යාමට අමෙරිකාව අපේක්ෂා කරන බව වාර්තා වනවා.
මෙම නව තීරුබදු තවමත් යෝජනා මට්ටමේ පවතින අතර, ඒවා ක්‍රියාත්මක කිරීමට පෙර මහජන අදහස් විමසීමක් සහ විභාගයක් පැවැත්වීමට නියමිතයි. ඒ හේතුවෙන් ඒවා ක්‍රියාත්මක කිරීම ලබන ජනවාරි මාසය දක්වා කල් යා හැකි බව ද විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk