2026-11-25 19:16:00 Hours

නැගීඑන කාන්තා විස්සයි20 ශූරතාව ශ්‍රී ලංකාවට


...

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) සංවිධානය කළ නැගීඑන ජාතීන්ගේ කාන්තා විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව අපරාජිතව දිනාගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද (25) සමත් වුණා.

ඒ, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අජ්මාන්හි පැවති අවසන් මහා තරගයේදී අයර්ලන්ත කාන්තා කණ්ඩායම කඩුලු 6කින් පරාජය කරමින්.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් අයර්ලන්ත කණ්ඩායමට ශ්‍රී ලංකා පන්දු යවන්නියන්ගේ පීඩනය හමුවේ පන්දුවාර 19යි පන්දු 3ක් අවසානයේ සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 96ක් පමණයි.

අයර්ලන්ත ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වූ ඇලනා ඩැල්සෙල් පන්දු 25කදී හතරේ පහරක් සමඟ ලකුණු 24ක් රැස් කළා.

ඒ අනුව ලකුණු 97ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පන්දුවාර 12යි පන්දු 4ක් අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 99ක් ලබාගනිමින් තරගයේ ජය තහවුරු කරගත්තා.

ශ්‍රී ලංකා ජයග්‍රහණයේ ප්‍රධානතම දායකත්වය ලබාදුන් ඉමේෂා දුලානි පන්දු 25කදී හයේ පහර 2ක් සහ හතරේ පහර 4ක් සමඟ නොදැවී ලකුණු 44ක් රැස් කළා.

ස්කොට්ලන්තය, පාකිස්තානය, නෙදර්ලන්තය, සිම්බාබ්වේ, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, පැපුවා නිව්ගිනියාව සහ තායිලන්තය යන කණ්ඩායම් ද මෙම තරගාවලියට එක්ව සිටියා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk