2026-11-25 07:03:00 Hours

සමාජ සංවාදය හරහා ජනතාවට තම ගැටලු ඉදිරිපත් කිරීමට අවස්ථාව හිමිවිය යුතුයි - UN


...

ශ්‍රී ලංකාවේ සාමය සහ අර්බුද වැළැක්වීම සඳහා ක්‍රියාත්මක සමාජ සංවාදය ව්‍යාපෘතිය හරහා සේවකයන්ට සහ ප්‍රජාවන්ට තම ගැටලු ඉදිරිපත් කිරීමට මෙන්ම තම ජීවිතවලට බලපාන තීරණ හැඩගැස්වීමට දායක වීමට අවස්ථාව ලබාදිය යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය සඳහන් කර ඇත්තේ, දකුණු ආසියාවේ රාජ්‍ය අංශයේ සංවාදය සඳහා වන පළමු ජාතික රාමුව ස්ථාපිත කරමින් රාජ්‍ය සේවය තුළ සමාජ සංවාදය පිළිබඳ ප්‍රකාශනයක් ද සම්මත කරගෙන ඇති බවයි.

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය හේතුවෙන් මතුවූ පීඩනයන්ට ප්‍රතිචාර දැක්වීමක් ලෙස මෙම ඒකාබද්ධ වැඩසටහන ක්‍රියාත්මක කර තිබෙනවා.

ආර්ථික පුනර්ජීවන ක්‍රියාවලිය අතරතුර ඉහළ ගිය බදු සහ භාණ්ඩ මිල ගණන්, ජනතාවගේ මිලදී ගැනීමේ හැකියාව පහත වැටීම සහ අඛණ්ඩව පවතින දරිද්‍රතාව හේතුවෙන් පවුල් ඒකක වෙත එල්ල වූ පීඩනය තවදුරටත් පවතින බව ද එම නිවේදනයේ සඳහන්.

මෙම ව්‍යාපෘතිය හරහා රජය, සේවායෝජකයන්, සේවකයන් සහ ප්‍රජාව එකට එක් කරමින් සංවාදය ඔස්සේ ගැටලුවලට විසඳුම් සෙවීමටත්, ආරවුල් උත්සන්න වීම වැළැක්වීමටත්, සියලු පාර්ශ්වයන්ට සහභාගී විය හැකි ආර්ථික පුනර්ජීවනයකට සහාය ලබාදීමටත් අපේක්ෂා කරනවා.

මෙරට ආර්ථික පුනර්ජීවනය තුළින් වඩාත් යහපත් රාජ්‍ය සේවාවක්, සේවා ස්ථානවල සාධාරණ තත්ත්වයන් සහ තම අනාගතය හැඩගස්වා ගැනීමට ජනතාවට වැඩි අවස්ථාවක් හිමිවිය යුතු බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙන්නේ.

ගැටලු බෙදීම් සහ ආරවුල් බවට පත්වීමට පෙර ඒවා විසඳා ගැනීම සඳහා ජනතාව එකට එක් කර සංවාදයක් ගොඩනැගිය යුතු බවත්, ජනතාවට සවන් දීමෙන් පමණක් නොනැවතී ඔවුන් ඉදිරිපත් කරන ගැටලු සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීම ද අත්‍යවශ්‍ය බවත් එම සංවිධානය වැඩිදුරටත් අවධාරණය කර තිබෙනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk