2026-10-29 21:25:00 Hours

ස්පාඤ්ඤ දුම්රිය අනතුරට හේතුව හෙළිවෙයි


...

පුද්ගලයන් 68 දෙනෙකුට මරු කැඳවූ ස්පාඤ්ඤ දුම්රිය අනතුරට පරිගණක පද්ධතියේ දෝෂයක් සහ දුම්රිය කළමනාකරුවෙකු ගත් වැරදි තීරණයක් හේතු වී ඇති බව එරට ප්‍රවාහන අමාත්‍යවරයා පවසනවා.

ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් සහ සෙවිල් නගර අතර ධාවනය වන දුම්රිය දෙකක් උර්ඩා ප්‍රදේශයේදී ඊයේ (28) එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර, තවත් පුද්ගලයන් සිය ගණනක් තුවාල ලබා තිබෙනවා.

වේගයෙන් ධාවනය වූ මගී දුම්රියක් මාර්ගයේ නවතා තිබූ තවත් දුම්රියක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව සඳහන්.

සිද්ධිය පිළිබඳව මාධ්‍ය දැනුවත් කරමින් ප්‍රවාහන අමාත්‍යවරයා පවසා ඇත්තේ අනතුරට පෙර දුම්රිය මාර්ග සංඥා පද්ධතියේ පරිගණක දෝෂයක් හටගෙන තිබූ බවයි. ඒ සමඟ සියලුම දුම්රිය තමන් සිටින ස්ථානවලම නවතා තබන ලෙස නියෝග කර තිබෙනවා.

කෙසේ වෙතත්, පද්ධතියේ පාලනය භාරගත් දුම්රිය කළමනාකරුවෙකු රෙන්ෆේ (Renfe) අධිවේගී දුම්රියට වේග සීමාවකින් තොරව ගමනාන්තය දක්වා ධාවනය කිරීමට අවසර ලබාදී ඇති බව වාර්තා වනවා.

ඒ වනවිට ඉර්යෝ (Iryo) දුම්රිය මාර්ගයේ නවතා තිබී ඇති අතර, වේගයෙන් පැමිණි රෙන්ෆේ දුම්රිය එහි ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව සඳහන්.

උර්ඩා ප්‍රදේශයේ සිදුවූ මෙම අනතුර වසර 13කට පසු ස්පාඤ්ඤයේ සිදුවූ බරපතළම දුම්රිය අනතුර ලෙස සැලකෙනවා.

මේ අතර, අනතුරේ වගකීම භාරගෙන ප්‍රවාහන අමාත්‍යවරයා වහාම ඉල්ලා අස්විය යුතු බවට බලකරමින් මැඩ්රිඩ් නුවර ප්‍රවාහන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවක් ද පවත්වා තිබෙනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk