2026-10-27 08:04:00 Hours
බෙංගාල බොක්ක ආශ්රිතව පැවති ‘ඔර්නබ්’ ප්රබල සුළි කුණාටුව තවදුරටත් වර්ධනය වී ඉතා ප්රබල සුළි කුණාටුවක් බවට පත්ව තිබෙනවා.
කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අද (27) අලුයම 2.30 වන විට එය කන්කසන්තුරේ සිට කිලෝමීටර් 890ක් පමණ ඊසාන දෙසින් කේන්ද්රගතව පැවති බවයි.
මෙම සුළි කුණාටුව හෙට (28) පෙරවරු 11.30 පමණ වන විට ඉන්දියාවේ ආන්ද්රා ප්රදේශ් වෙරළ තීරය හරහා ගොඩබිමට ඇතුළු වීමට බොහෝ දුරට ඉඩ ඇති බව ද එම දෙපාර්තමේන්තුව පවසනවා.
සුළි කුණාටුවෙන් ශ්රී ලංකාවට සෘජු බලපෑමක් නොමැති වුවද, එය වෙත ඇදී යන සුළං ප්රවාහය දිවයින හරහා පවතින බැවින් නිරිතදිග ප්රදේශවල වැසි තත්ත්වය අද දිනයේදීත් අපේක්ෂා කෙරෙනවා.
ඒ අනුව, බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලට මෙන්ම මහනුවර සහ නුවරඑළිය දිස්ත්රික්කවලට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. එම ප්රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ඉක්මවූ තරමක තද වැසි ද ඇති විය හැකි බව සඳහන්.
මීට අමතරව, නැගෙනහිර පළාතේ ස්ථාන කිහිපයකට පස්වරු 1න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.
මධ්යම කඳුකරයේ බටහිර බෑවුම් ප්රදේශවලටත්, උතුරු, උතුරුමැද සහ වයඹ පළාත්වලටත්, ත්රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්රික්කවලටත් පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර තද සුළං ඇති විය හැකි බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළං සහ අකුණු අනතුරුවලින් ආරක්ෂා වීමට අවශ්ය පියවර ගන්නා ලෙස ද ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
ධීවර සහ නාවික කටයුතුවලින් වළකින්නැයි උපදෙස්
මේ අතර, බෙංගාල බොක්කේ උතුරු අක්ෂාංශ 10ත් 20ත් අතර සහ නැගෙනහිර දේශාංශ 80ත් 95ත් අතර මුහුදු ප්රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 80ත් 140ත් අතර අගයක් දක්වා ඉහළ යා හැකි බව සඳහන්.
එම මුහුදු ප්රදේශවල මීටර් 3ත් 4ත් අතර උසකින් යුත් මුහුදු රළ ඇති විය හැකි අතර, මුහුද ඉතා රළු වීමේ අවදානමක් ද පවතිනවා.
ඒ අනුව, නැවත දැනුම් දෙන තුරු අදාළ මුහුදු ප්රදේශවල ධීවර හා නාවික කටයුතුවල නිරත වීමෙන් වළකින ලෙසත්, එම ප්රදේශවල සිටින ධීවර සහ නාවික ප්රජාව ආරක්ෂිත ස්ථාන කරා යොමුවන ලෙසත් උපදෙස් දී තිබෙනවා.
එමෙන්ම, කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව නිකුත් කරන ඉදිරි අනාවැකි සහ නිවේදන පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවන ලෙස ද දැනුම් දී තිබෙනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk