2026-10-25 09:29:00 Hours

රියාද් ගුවන්තොටුපළ භාවිත නොකරන ලෙස හූතිවරුන්ගෙන් යළි අනතුරු ඇඟවීමක්


...

සෞදි අරාබියේ රියාද් නුවර පිහිටි කිං ඛාලිඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපළ භාවිත කිරීමෙන් වළකින ලෙස හූති කැරලිකරුවන් යළිත් අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

ගුවන්තොටුපළේ මෙහෙයුම් තාවකාලිකව අත්හිටුවීමෙන් පසු, අද (25) සිට ගුවන් ගමන් සඳහා පර්යන්ත දෙකක් වෙන් කරන බවට බලධාරීන් නිවේදනය කර පැය කිහිපයකට පසුව මෙම අනතුරු ඇඟවීම නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

හූති හමුදා ප්‍රකාශකවරයා සඳහන් කර ඇත්තේ කිං ඛාලිඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපළ තවදුරටත් හමුදා ඉලක්කයක් ලෙස සලකන බවයි.

එම ගුවන්තොටුපළ ඉලක්ක කර ගනිමින් සිදුකරන මෙහෙයුම් අඛණ්ඩව පවත්වාගෙන යන බව ද ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව, ගුවන්තොටුපළ භාවිත කිරීමෙන් වළකින ලෙස සියලුම ගුවන් සමාගම්, ගුවන්තොටුපළ සේවකයන් සහ ගුවන් මගීන් වෙත ද හූති කැරලිකරුවන් අනතුරු අඟවා ඇති බව සඳහන්.

මේ අතර, කිං ඛාලිඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපළ බලධාරීන් ඊයේ (24) නිවේදනය කර තිබුණේ අද සිට පර්යන්ත අංක 1 දේශීය ගුවන් ගමන් සඳහාත්, පර්යන්ත අංක 2 ජාතික ගුවන් සමාගම් මගින් ක්‍රියාත්මක කරන ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහාත් වෙන් කරන බවයි.

හූති කැරලිකරුවන් එල්ල කළ බවට ප්‍රකාශ කෙරුණු ප්‍රහාරයකින් පුද්ගලයන් 13 දෙනෙකු මියගොස් තවත් 300කට අධික පිරිසක් තුවාල ලැබීමෙන් පසු, ඔක්තෝබර් 10 වැනිදා ගුවන්තොටුපළේ මෙහෙයුම් අත්හිටුවනු ලැබුවා.

එම ප්‍රහාරය දශකයකට වැඩි කාලයක් තුළ සෞදි අරාබියට එල්ල වූ මාරාන්තිකම ප්‍රහාරය ලෙස සැලකෙනවා.

හූති කැරලිකරුවන් සෞදි අරාබියේ ගුවන්තොටුපළ, වරාය සහ තෙල් යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් බැලස්ටික් මිසයිල සහ ඩ්‍රෝන යානා ප්‍රහාර එල්ල කරන බව ද වාර්තා වනවා.

මෙම ප්‍රහාර හමුවේ පුළුල් කලාපීය යුද්ධය තුළ අමෙරිකාවේ මිත්‍ර රාජ්‍යයක් වන සෞදි අරාබියට දැඩි පීඩනයක් එල්ල වී තිබෙනවා.

මේ අතර, හූති කැරලිකරුවන්ට එරෙහිව සෞදි අරාබිය සිය හමුදා මැදිහත්වීම් තීව්‍ර කර ඇති බව ද සඳහන්.

පසුගිය මාසයේ රතු මුහුදු වෙරළ තීරයේ උපායමාර්ගික ප්‍රදේශ අත්පත් කර ගැනීමෙන් අනතුරුව, සෞදි අරාබිය හූති කැරලිකරුවන්ට එරෙහිව ගුවන් ප්‍රහාර එල්ල කරමින් යේමන රජයේ ප්‍රතිප්‍රහාරක මෙහෙයුම් සඳහා ද සහාය ලබා දෙමින් සිටින බව වාර්තා වනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk