2026-10-28 23:26 Hours

කොබෙයිගනේ පොලිස් භාරයේ සිටි සැකකරුවෙකුත් මරුට


...

කොබෙයිගනේ, බැද්දේගම ප්‍රදේශයේදී සොරකම් කිහිපයකට සම්බන්ධ බව කියන පුද්ගලයෙකු පොලිස් භාරයේ සිටියදී රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.

පසුගිය සඳුදා (25) දහවල් ප්‍රදේශවාසීන් විසින් අල්ලා කොබෙයිගනේ පොලිසියට භාරදුන් සැකකරු දින දෙකක් පමණ පොලිස් අත්අඩංගුවේ සිට ඇති බව සඳහන්.

කෙසේ වෙතත්, ඊයේ (27) රාත්‍රියේ ඔහු නිකවැරටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.

අදාළ සැකකරු අල්ලා පොලිසියට භාරදුන් ප්‍රදේශවාසීන් පස්දෙනෙකු ද මරණයෙන් පසු කොබෙයිගනේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.

අත්අඩංගුවට ගත් පුද්ගලයන්ගේ ඥාතීන් පවසන්නේ, සැකකරු ගසක බැඳ තිබූ අවස්ථාවේදී පැයක් ගතවීමටත් පෙර පොලිසිය දැනුවත් කර, ඔහුට කිසිදු උපද්‍රවයක් නොවන පරිදි පොලිසියට භාරදුන් බවයි.

ගම්වාසීන් අතින් පහරදීමක් සිදුවී තිබුණේ නම්, සැකකරු මියයාමට පෙර රෝහල්ගත කිරීමට පියවර ගත යුතුව තිබූ බව ද ඔවුන් පෙන්වා දෙනවා.

මියගිය පුද්ගලයාගේ සොරකම් සම්බන්ධයෙන් මීට පෙර අවස්ථා කිහිපයකදී පොලිසිය දැනුවත් කර තිබූ බවත්, එහිදී ඔහු අල්ලා පොලිසියට භාරදෙන ලෙස පොලිසිය උපදෙස් දී තිබූ බවත් අත්අඩංගුවට ගත් පුද්ගලයන්ගේ ඥාතීන් වැඩිදුරටත් සඳහන් කරනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk