2026-10-26 08:59:00 Hours

චීනයේ අමෙරිකානු ආයෝජන සීමා පුළුල් කිරීම නවත්වන්නැයි බීජිං වෙතින් ඉල්ලීමක්


...

චීනය තුළ සිදුකරන අමෙරිකානු ආයෝජන සඳහා පනවා ඇති සීමාවන් තවදුරටත් පුළුල් කිරීමේ තීරණය වහාම අත්හිටුවන ලෙස චීන වාණිජ අමාත්‍යාංශය එක්සත් ජනපදයෙන් ඉල්ලා තිබෙනවා.

රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළේ, සංවේදී තාක්ෂණික ක්ෂේත්‍ර ඉලක්ක කරගනිමින් යෝජනා කර ඇති නව රෙගුලාසි දෙරට අතර වෙළෙඳ හා ආර්ථික සබඳතාවලට බාධා එල්ල කරන බවට චීනය පෙන්වා දෙන බවයි.

අමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව විසින් විදේශීය ආයෝජන සම්බන්ධ ආරක්ෂණ වැඩසටහන යාවත්කාලීන කිරීම සඳහා පසුගියදා නව යෝජනා මාලාවක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව, ආයෝජන සීමා පැනවෙන ක්ෂේත්‍ර අතරට ජෛව තාක්ෂණය ද ඇතුළත් කර ඇති අතර, අධි-කාර්යසාධන පරිගණකකරණය සහ අතිධ්වනිත පද්ධති ආවරණය වන පරිදි ද සීමා පුළුල් කිරීමට යෝජනා කර ඇති බව සඳහන්.

මීට පෙර ද අර්ධ සන්නායක, ක්වොන්ටම් තාක්ෂණය සහ කෘත්‍රිම බුද්ධිය යන ක්ෂේත්‍රවල චීනයට සම්බන්ධ ඇතැම් අමෙරිකානු ආයෝජන සීමා කිරීමට එක්සත් ජනපදය පියවර ගෙන තිබුණා.

මෙම නව යෝජනා මගින් චීනයට අදාළ ආයෝජන සීමා තවදුරටත් දැඩි කර ඇති බව පවසන චීන වාණිජ අමාත්‍යාංශය, අමෙරිකාවේ ක්‍රියාමාර්ගයට දැඩි විරෝධය පළ කර තිබෙනවා.

එමෙන්ම, ඊට ප්‍රතිචාර වශයෙන් නිශ්චිතව සඳහන් නොකළ ප්‍රතිපියවර ගැනීමේ අයිතිය තමන් සතු බව ද චීනය අවධාරණය කරනවා.

මෙම යෝජනා දෙරට අතර ද්විපාර්ශ්වික ආර්ථික සබඳතාවලට හානි කරන අතර, දෙරටේ ජනාධිපතිවරුන් අතර ඇති කරගත් එකඟතාවලට ද පටහැනි බවයි චීන පාර්ශ්වය පෙන්වා දෙන්නේ.

කෙසේ වෙතත්, අමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ මෙම පියවර චීනයට පමණක් සීමා වූවක් නොවන බවයි.

අමෙරිකාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි ද්විත්ව භාවිත උපායමාර්ගික තාක්ෂණයන් සංවර්ධනය කිරීම සඳහා විදේශීය තරඟකරුවන්ට අමෙරිකානු ප්‍රාග්ධනය යෙදවීම වැළැක්වීම මෙම පියවරවල ප්‍රධාන අරමුණ බව ද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk