2026-10-30 08:04:00 Hours

රඛිතගේ බැංකු ගිණුම් 4ක් සහ සුඛෝපභෝගී මෝටර් රථ දෙකකට තහනමක්


...

හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් රඛිත රාජපක්ෂ මහතාට අයත් බව කියන බැංකු ගිණුම් හතරක් සහ සුඛෝපභෝගී මෝටර් රථ දෙකක් තහනම් කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම පියවර ගෙන තිබෙනවා.

එම බැංකු ගිණුම්වල රුපියල් කෝටි හතරකට ආසන්න මුදලක් තිබී ඇති බවයි කොමිසමේ ආරංචිමාර්ග සඳහන් කළේ.

මෙම තහනම සම්බන්ධයෙන් වාචිකව දැනුම්දීම සඳහා විමර්ශන නිලධාරීන් අවස්ථා කිහිපයකදී රාජගිරියේ පිහිටි රඛිත රාජපක්ෂ මහතාගේ නිවසට ගොස් ඇතත්, එම අවස්ථාවලදී ඔහු නිවසේ සිට නොමැති බව වාර්තා වනවා.

පසුව අදාළ දැනුම්දීම ඔහුගේ බිරිඳ වෙත සිදුකළ බව අල්ලස් කොමිසම සඳහන් කළා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රැඳවුම් නියෝග මත සිටි ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන 'හරක් කටා' නමැත්තා එම භාරයෙන් මුදාගෙන ආරක්ෂිත බන්ධනාගාරයක රඳවා තැබීම සඳහා ඔහුගේ බිරිඳගෙන් රුපියල් කෝටි 12ක අල්ලසක් ලබාගැනීමට උත්සාහ කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙකු අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

අනතුරුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අතර, පසුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප මත මුදාහැරුණා.

එම සිද්ධියට අදාළව අල්ලස් ලෙස ලබාගත් බව කියන රුපියල් කෝටි 12ක මුදල සොයාගැනීමට නොහැකි වීම හේතුවෙන්, අපරාධයකින් උත්පාදිත දේපළ පිළිබඳ පනත යටතේ සැකකරුවන්ගේ දේපළ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කිරීමට අල්ලස් කොමිසම පියවර ගෙන තිබෙනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk