2026-10-26 16:51:00 Hours

අයහපත් කාලගුණයෙන් දිවයිනේ ප්‍රදේශ රැසකට බලපෑම්


...

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි සහ නායයෑමේ අවදානම් මතුව තිබෙනවා.

රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හයකට නායයෑමේ රතු අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර, තවත් දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රදේශ රැසකට ද ඇම්බර් සහ කහ මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරනවා.

මේ අතර, කොත්මලේ ගාමිණී දිසානායක ජලාශයේ ජල මට්ටම ඉහළ යාමේ අවදානම හේතුවෙන් වාන් දොරටු විවෘත කිරීම සම්බන්ධයෙන් මහවැලි අධිකාරිය පූර්ව දැනුම්දීමක් නිකුත් කර තිබෙනවා.

රත්නපුර ප්‍රදේශ රැසකට නායයෑමේ රතු අනතුරු ඇඟවීම්

රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, අයගම, පැල්මඩුල්ල, කුරුවිට, ඇලපාත සහ ඕපනායක යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහායි මෙලෙස රතු අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත්තේ.

අද (26) පස්වරු 2.45ට නිකුත් කළ එම නිවේදනය හෙට (27) පස්වරු 2.45 දක්වා වලංගු වනවා.

මීට අමතරව, කළුතර, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසකට දෙවන මට්ටමේ ඇම්බර් අනතුරු ඇඟවීම් ද නිකුත් කර තිබෙනවා.

එමෙන්ම, ගාල්ල, ගම්පහ ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රදේශ සඳහා පළමු මට්ටමේ කහ අනතුරු ඇඟවීම් ද නිකුත් කර ඇති බව සඳහන්.

නායයෑමේ අවදානම ඉහළ යා හැකියි

අද රාත්‍රියේ වර්ෂාපතනය වැඩිවීමත් සමඟ නායයෑමේ අවදානම ඉහළ යා හැකි බැවින් කඳුකර ප්‍රදේශවල ජනතාව විශේෂ අවධානයෙන් පසුවිය යුතු බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුම් දෙනවා.

එහි අධ්‍යක්ෂ ජනරාල් ගාමිණී ජයතිස්ස මහතා සඳහන් කළේ, පසුගිය දිනවල ලැබුණු වර්ෂාව හේතුවෙන් පස සංතෘප්ත වී ඇති බැවින් නායයෑම් සහ පස් කණ්ඩි කඩා වැටීම් සිදුවීමේ අවදානමක් පවතින බවයි.

මේ වන විට සුළු නායයෑම් ආශ්‍රිත සිදුවීම් 117ක් වාර්තා වී ඇති බව ද ඔහු සඳහන් කළා.

විශේෂයෙන්ම නිවාස පිටුපස ඇති අස්ථාවර පස් කණ්ඩි ආශ්‍රිතව ගැවසීමෙන් වළකින ලෙස ජනතාවට දැනුම් දී තිබෙනවා.

නායයෑම් අවදානම් සහිත ප්‍රදේශවල ස්වයංක්‍රීය වර්ෂාමාන 480ක් ස්ථාපිත කර ඇති අතර, ඒවායෙන් ලැබෙන තත්කාලීන දත්ත අනුව අනතුරු ඇඟවීම් නිකුත් කරන බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළා.

කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම ගැන පූර්ව දැනුම්දීමක්

මේ අතර, පවතින අයහපත් කාලගුණය හමුවේ කොත්මලේ ගාමිණී දිසානායක ජලාශයට ලැබෙන ජල ධාරිතාව ඉහළ යා හැකි බැවින්, එහි වාන් දොරටු විවෘත කිරීම සම්බන්ධයෙන් මහවැලි අධිකාරිය පූර්ව දැනුම්දීමක් නිකුත් කර තිබෙනවා.

අද මධ්‍යහ්න 12ට නිකුත් කළ නිවේදනයට අනුව, ජලාශයේ ජල මට්ටම මුහුදු මට්ටමේ සිට මීටර් 696.96ක් වන අතර, එහි පූර්ණ ධාරිතාවෙන් සියයට 78.71ක් ජලයෙන් පිරී පවතිනවා.

ඉදිරියේදී ලැබෙන වර්ෂාව හේතුවෙන් ජලාශයේ ජල මට්ටම තවදුරටත් ඉහළ යා හැකි බැවින් කොත්මලා ඔය ආශ්‍රිත නුගවෙල, රිවර්සයිඩ් සහ මාවතුර ප්‍රදේශවල ජනතාවට විමසිල්ලෙන් පසුවන ලෙස දැනුම් දී තිබෙනවා.

එමෙන්ම, මහවැලි ගඟ ආශ්‍රිතව උලපනේ සිට ගම්පොළ, වැලිගල්ල, ගෙළිඔය, පේරාදෙණිය, කටුගස්තොට සහ පොල්ගොල්ල දක්වා ප්‍රදේශවල ජනතාව ද අවධානයෙන් පසුවිය යුතුයි.

ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට පෙර යළිත් දැනුම්දීමක් සිදුකරන බව මහවැලි අධිකාරිය සඳහන් කරනවා. කෙසේ වෙතත්, ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට ලැබෙන වර්ෂාව හේතුවෙන් ජලාශයෙන් ජලය මුදා නොහැරිය ද ගඟේ ජල මට්ටම ඉහළ යා හැකි බවට ද අනතුරු අඟවා තිබෙනවා.

විමලසුරේන්ද්‍ර ජලාශයත් වාන් දමයි

නෝටන්බ්‍රිජ් ප්‍රදේශයට අද උදෑසන සිට ඇදහැලෙන අධික වර්ෂාවත් සමඟ විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දැමීමට පටන්ගෙන තිබෙනවා.

එම ජලාශයෙන් මුදාහැරෙන ජලය හේතුවෙන් කැලණි ගඟට ජලය ගලා බසින කෙසෙල්ගමුඔයේ සහ කැලණි ගඟේ ජල මට්ටම් ද ඉහළ ගොස් ඇති බව සඳහන්.

ඒ අනුව, අදාළ ගංගා ආශ්‍රිත පහත් බිම්වල සහ අවට ප්‍රදේශවල ජනතාව ඉදිරි පැය කිහිපය තුළ දැඩි විමසිල්ලෙන් පසුවන ලෙස ආරක්ෂක අංශ දැනුම් දී තිබෙනවා.

හෙට වැසි තරමක් අඩුවිය හැකියි

මේ අතර, බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ සක්‍රියව පවතින ‘ඔර්නබ්’ සුළි කුණාටුවෙන් ශ්‍රී ලංකාවට සෘජු බලපෑමක් නොමැති වුවත්, එහි වක්‍ර බලපෑම් තවදුරටත් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අජිත් විජේමාන්න මහතා පවසනවා.

සුළි කුණාටුව සහ පවතින කාලගුණික තත්ත්වය සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේ, ඊයේ සහ අද පැවති තද වැසි තත්ත්වය හෙට වන විට තරමක් අඩුවනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

කෙසේ වෙතත්, දකුණ, බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලට මෙන්ම වයඹ පළාතේ ඇතැම් ප්‍රදේශවලට ද තද වැසි ඇති විය හැකි බව ඔහු පෙන්වා දුන්නා.

වැසි තත්ත්වය අඩු වුවද තාවකාලික තද සුළං ඇති විය හැකි බැවින් ජනතාව ඒ පිළිබඳව අවධානයෙන් පසුවිය යුතුයි.

එළඹෙන 28 වැනිදා සවස වන විට සුළි කුණාටුව ආන්ද්‍රා ප්‍රදේශ් හරහා ඉන්දියාවට ඇතුළු වීමට නියමිත බවත්, ඒ සමඟ ශ්‍රී ලංකාවට එල්ල වන බලපෑම ක්‍රමයෙන් පහව යනු ඇති බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

ධීවර සහ නාවික ප්‍රජාවට ද ඉදිරියේදී නිකුත් කෙරෙන කාලගුණ නිවේදන පිළිබඳ නිරන්තර අවධානයෙන් පසුවන ලෙස දැනුම් දී තිබෙනවා.

ඊට අමතරව ගංගා ආශ්‍රිත පහත් බිම්වල සහ නායයෑම් අවදානම් සහිත ප්‍රදේශවල ජනතාව නිල අනතුරු ඇඟවීම් පිළිපදිමින්, අවශ්‍ය ආරක්ෂක පියවර ගන්නා ලෙස බලධාරීන් ඉල්ලා සිටිනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk