2026-10-30 10:41:00 Hours

ලාෆ් ගෑස් සමාගමට එරෙහිව පාරිභෝගික අධිකාරිය උසාවි යයි


...

ගෑස් සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාමට අපොහොසත් වීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ලාෆ්ස් ගෑස් සමාගමට එරෙහිව අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා තිබෙනවා.

2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනත යටතේ මෙම නීතිමය ක්‍රියාමාර්ගය ගෙන ඇති අතර, අදාළ නඩුව නොවැම්බර් 11 වැනිදා කැඳවීමට නියමිතයි.

පසුගිය දෙසැම්බර් මාසයේදී සහ අප්‍රේල් මාසයේදී අවස්ථා කිහිපයකදී ලාෆ්ස් ගෑස් සිලින්ඩර වෙළෙඳපොළට නිකුත් කිරීම අඩාල වීම හේතුවෙන් පාරිභෝගිකයන් දැඩි අපහසුතාවට පත්වුණා.

මේ අතර, ලාෆ්ස් ගෑස් සමාගමේ සැපයුම් ගැටලුවට ප්‍රධාන හේතුවක් ලෙස අවශ්‍ය ගෑස් තොග ලබාගැනීමේ අපහසුතා හඳුනාගෙන තිබෙනවා.

ශ්‍රී ලංකාවේ භාවිතයට අවශ්‍ය ගෑස් සංයුතිය පවත්වාගැනීම සඳහා බියුටේන් සහ ප්‍රොපේන් නියමිත අනුපාතයකින් මිශ්‍ර කළ යුතු අතර, එම සංයුතියට ගැළපෙන විශාල ගෑස් තොග ලබාගැනීමේ දුෂ්කරතා හේතුවෙන් සැපයුම් කටයුතු අඩාල වී ඇති බවයි වාර්තා වන්නේ.

ලාෆ්ස් සමාගමට හම්බන්තොට පිහිටි පර්යන්තයේදී බියුටේන් සහ ප්‍රොපේන් මිශ්‍ර කර ගෑස් සකස් කිරීමේ පහසුකම් පැවතියද, අදාළ ගිවිසුම් කොන්දේසි අනුව එම ගෑස්වලින් දේශීය වෙළෙඳපොළට නිකුත් කළ හැකි ප්‍රමාණය සියයට 20කට සීමා වී ඇති බව සඳහන්.

එම සීමාව වැඩිකර දෙන ලෙස සමාගම අවස්ථා කිහිපයකදී ඉල්ලීම් කර තිබුණද, පසුගිය අප්‍රේල් මාසයේදී කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර, ලාෆ්ස් ගෑස් සැපයුම අඩාල වීම හේතුවෙන් ලිට්රෝ ගෑස් වෙත මාරුවීමට උත්සාහ කරන පාරිභෝගිකයන්ට ද ගැටලු මතුව තිබෙනවා.

ඒ, ලාෆ්ස් ගෑස් සිලින්ඩර වෙනුවෙන් තැන්පත් කළ මුදල් ආපසු ලබාගැනීමේදී පාරිභෝගිකයන් මුහුණදෙන දුෂ්කරතා හේතුවෙන්.

සිලින්ඩරයේ භාවිත කාලය සහ ක්ෂයවීමේ ප්‍රමාණය අනුව රුපියල් දහසක පමණ මුදලක් පමණක් ආපසු ගෙවීමට සමාගම එකඟ වී ඇති බවට තොරතුරු වාර්තා වනවා.

එවැනි තත්ත්වයක් තුළ නව ලිට්රෝ ගෑස් සිලින්ඩරයක් ලබාගැනීම සඳහා රුපියල් දසදහසකට අධික මුදලක් වැය කිරීමට සිදුවීම පාරිභෝගිකයන්ට තවත් ආර්ථික බරක් වී තිබෙනවා.

කෙසේ වෙතත්, මෙම ගැටලුව හමුවේ පාරිභෝගිකයන්ට අඛණ්ඩ ගෑස් සැපයුමක් තහවුරු කිරීම මෙන්ම සිලින්ඩර තැන්පතු මුදල් ආපසු ලබාගැනීමේ ක්‍රමවේදය පිළිබඳව ද පැහැදිලි විසඳුමක් ලබාදීමේ අවශ්‍යතාව මතුව තිබෙනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk