2026-10-15 14:41 Hours
තිත්තගල්ලේ ආනන්දසිරි හිමියන් විසින් සමාජ මාධ්යයට එක් කළ වීඩියෝවක් සම්බන්ධයෙන් වීරගුල පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිතව තිබෙනවා.
සිරගතව සිටින පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා මහනුවර සිට කොළඹ දක්වා පැවැත්වෙන පාගමනට සහාය දැක්වූ පුද්ගලයෙකුට පිරිසක් හෙල්මටයකින් පහරදුන් බව සඳහන් කරමින් අදාළ වීඩියෝව සමාජ මාධ්ය ඔස්සේ ප්රචාරය වී තිබුණා.
කෙසේ වෙතත්, පොලිසිය පවසන්නේ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම පහරදීම පාගමනට සම්බන්ධ සිදුවීමක් නොවන බවයි.
2026 ඔක්තෝබර් 14 වැනිදා වීරගුල පොලිස් වසමේ වීදියවත්ත දේවාලය ඉදිරිපිටදී මෙම සිදුවීම සිදුව ඇති බව පොලිසිය සඳහන් කරනවා.
පෞද්ගලික අවශ්යතාවක් සඳහා ලොරි රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු සහ යතුරුපැදිකරුවෙකු අතර රථවාහන තදබදයක් හේතුවෙන් බහින්බස්වීමක් ඇති වී තිබෙනවා. එය දුරදිග යාමෙන් හෙල්මටයකින් පහරදීම සිදුව ඇති බව අදාළ පුද්ගලයාගෙන් ලබාගත් ප්රකාශ අනුව අනාවරණය වී ඇති බවයි වාර්තා වන්නේ.
සිද්ධියෙන් තුවාල ලැබූ ලොරි රථයේ ගමන් කළ පුද්ගලයා වතුපිටිවල රෝහලට ඇතුළත් කර ප්රතිකාර ලබන අතර, සිද්ධියට සම්බන්ධ බව කියන යතුරුපැදිකරු ද ගම්පහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
මෙම සිදුවීම පාගමනට සම්බන්ධ ප්රහාරයක් ලෙස හුවා දක්වමින් තුවාල ලැබූ පුද්ගලයාගේ තුවාල පෙන්වන වීඩියෝවක් සමාජ මාධ්යයට මුදාහැර ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇතැයි පොලිසිය පවසනවා.
ඒ අනුව, අදාළ වීඩියෝව සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිත අතර, මහජන නොසන්සුන්තාවක් ඇති කළ හැකි අසත්ය සහ තහවුරු නොකළ තොරතුරු සමාජ මාධ්ය ඔස්සේ ප්රචාරය කිරීම සම්බන්ධයෙන් නීතිමය ක්රියාමාර්ග ගැනීමට ද අවධානය යොමු කර ඇති බව පොලිසිය සඳහන් කරනවා.
සමාජ මාධ්ය ඔස්සේ සංසරණය වන වීඩියෝ සහ තොරතුරු තහවුරු කරගැනීමකින් තොරව බෙදාහැරීමෙන් වළකින ලෙස ද පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන වීරගුල පොලිසිය විසින් සිදු කරනු ලබනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk