2026-10-15 14:32:00 Hours

පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේදී මුදල් ඉල්ලන බවට චෝදනාවක්


...

2027 වසර සඳහා පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේ සම්මුඛ පරීක්ෂණ අතරතුර, දෙමව්පියන්ගෙන් අනියම් ආකාරයෙන් මුදල් සහ භාණ්ඩ ලබාගැනීමට උත්සාහ කරන බවට ලංකා ගුරු සංගමය චෝදනා කරනවා.

එම සංගමය චෝදනා කරන්නේ ආදිශිෂ්‍ය සංගම්වල මැදිහත්වීමෙන් ඇතැම් දෙමව්පියන් මුදල් ලබාදීමට පොළඹවන බවත්, ඒ සඳහා එකඟ නොවන දෙමව්පියන් නැවත නැවත සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවන බවත්ය.

ගාල්ලේ ප්‍රසිද්ධ පාසලක සිසුන් ඇතුළත් කර ගැනීමේ සම්මුඛ පරීක්ෂණ සම්බන්ධයෙන් ද මෙවැනි පැමිණිලි ලැබී ඇති බව සඳහන්.

එමෙන්ම, සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන ස්ථානවලට ජංගම දුරකථන රැගෙන ඒමට අවසර නොදීම පිළිබඳව ද ප්‍රශ්න මතු කර තිබෙනවා.

එම සීමා කිරීම් හේතුවෙන් සිදුවන කතාබහ පිළිබඳ සාක්ෂි ඉදිරිපත් කිරීමට දෙමව්පියන්ට අපහසු වී ඇති බව වාර්තා වනවා.

එම සංගමය පෙන්වා දෙන්නේ, පාසලේ ආදිශිෂ්‍යයෙකු වීම හෝ දෙමව්පියෙකු ආදිශිෂ්‍යයෙකු වීම මත ලැබෙන අවස්ථා, ආදිශිෂ්‍ය සංගමයක සාමාජිකත්වය දැරීම හෝ එහි සංවර්ධන කටයුතු සඳහා මුදල් ලබාදීම මත තීරණය නොවිය යුතු බවයි.

ආදිශිෂ්‍ය සංගම්වල කාර්යභාරය පාසලේ කටයුතුවලට සහාය වීම බවත්, එම සංගම් හරහා සිසුන් ඇතුළත් කර ගැනීමේ ක්‍රියාවලියට අනවශ්‍ය බලපෑම් සිදු නොවිය යුතු බවද ඔවුන් සඳහන් කරනවා.

ඒ අනුව, පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේ චක්‍රලේඛවලට අනුකූලව කටයුතු සිදුවන්නේද යන්න පිළිබඳව බලධාරීන් වහාම සොයා බැලිය යුතු බවට ඉල්ලීමක් කර තිබෙනවා.

එමෙන්ම, අසාධාරණ හෝ නීති විරෝධී ආකාරයෙන් මුදල් හෝ භාණ්ඩ ලබාගැනීමට උත්සාහ කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් පැමිණිලි කරන ලෙස ද දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටිනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk