2026-10-15 09:12:00 Hours

AI තරගය හා ණය බර හමුවේ Getty Images සමාගම බංකොලොත් වෙලා


...

කෘත්‍රිම බුද්ධියෙන් (AI) නිර්මාණය කරන රූපවලින් එල්ල වන දැඩි තරගකාරීත්වය සහ අධික ණය බර හේතුවෙන් ලොව ප්‍රමුඛ පෙළේ ඡායාරූප හා දෘශ්‍ය අන්තර්ගත සැපයුම්කරුවෙකු වන Getty Images සමාගම බංකොලොත්භාවයට අදාළ නීතිමය ක්‍රියාවලියකට (Chapter 11) යොමුවීමට තීරණය කර තිබෙනවා.

මෙම ක්‍රියාවලිය යටතේ ණය ප්‍රතිව්‍යුහගත කරමින් සමාගම යළි පෞද්ගලික සමාගමක් බවට පත් කිරීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ. එම කටයුතු මෙම වසර අවසන් වීමට පෙර නිම කිරීමට අපේක්ෂා කෙරෙනවා.

Shutterstock සමාගම සමඟ ඒකාබද්ධ වීමට පැවති සැලසුම බිඳවැටීමෙන් පසුව Getty Images සමාගම මෙම පියවර ගෙන ඇති බව සඳහන්.

ප්‍රතිව්‍යුහගත කිරීම අවසන් වූ පසු Getty පවුලේ ආයතන සහ Koch Equity Development සමාගම විසින් Getty Images හි සියයට 100ක හිමිකාරීත්වය ලබාගැනීමට නියමිතයි. ඒ සඳහා නව කොටස් වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 533ක මුදලක් ලබාදීමට ආයෝජකයන් එකඟ වී තිබෙනවා.

ණය බර අඩු කිරීමේ සැලැස්ම යටතේ සුරක්ෂිත නොකළ බැඳුම්කර හිමියන් අමෙරිකානු ඩොලර් මිලියන 270ක ණය නෝට්ටු ඉවත් කිරීමට එකඟ වී ඇති අතර, මූල්‍ය ආයතන ද පොලී පිරිවැය අඩු කිරීමට සහ ණය ආපසු ගෙවීමේ කාලය දීර්ඝ කිරීමට එකඟ වී ඇත.

කෙසේ වෙතත්, මෙම ක්‍රියාවලිය අතරතුර සමාගමේ දෛනික මෙහෙයුම් සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන බවත්, සැපයුම්කරුවන්ට නියමිත පරිදි මුදල් ගෙවන බවත් Getty Images සමාගම තහවුරු කරනවා.

සමාගමේ මූල්‍ය වාර්තාවලට අනුව, ජුනි 30 වැනිදා වන විට එහි සමස්ත ණය ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 2.1ක් පමණ වී තිබෙනවා.

2022 වසරේදී විශේෂ අරමුණු අත්පත් කරගැනීමේ සමාගමක් (SPAC) හරහා ඩොලර් බිලියන 4.8ක වටිනාකමක් සහිතව යළි කොටස් වෙළෙඳපොළට පිවිසි Getty Images සමාගමේ කොටස් වටිනාකම එතැන් සිට සියයට 99කින් පමණ පහත වැටී ඇති බව සඳහන්.

ඒ හේතුවෙන් පසුගිය සැප්තැම්බර් මාසයේ අවසානයේදී නිව්යෝර්ක් කොටස් හුවමාරුව ද සමාගම කොටස් ලැයිස්තුවෙන් ඉවත් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කර තිබෙනවා.

මේ අතර, Koch Equity Development සමාගමෙන් ලැබීමට නියමිත අමෙරිකානු ඩොලර් මිලියන 143ක මූල්‍ය ආධාරය Getty Images සමාගමේ ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට සහායක් වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk