2026-10-15 20:17 Hours
‘නිදහසේ පාද යාත්රාවට’ එක්ව සිටින මහා සංඝරත්නය ඉදිරිපත් කළ ඉල්ලීම සම්බන්ධයෙන් මාසයක් ඇතුළත තීරණයක් ගන්නා බව ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරියෙකු දැනුම් දී තිබෙනවා.
කෙසේ වෙතත්, ඒ සම්බන්ධයෙන් නිශ්චිත දිනයක් සඳහන් කරමින් ජනාධිපති ලේකම්වරයාගේ නිල ප්රකාශයක් නිකුත් කරන ලෙසයි මහා සංඝරත්නය ඉල්ලා සිටින්නේ.
එම නිල ප්රකාශය ලැබෙන තෙක් ජනාධිපති ලේකම් කාර්යාලය අසලින් ඉවත් නොවී රැඳී සිටින බව ද උන්වහන්සේලා අවධාරණය කර තිබෙනවා.
මේ අතර බන්ධනාගාරගතව සිටින පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන ලෙස ඉල්ලා ජනාධිපති ලේකම් කාර්යාලය අසලට පැමිණි භික්ෂූන් වහන්සේලා සමඟ සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අද (15) පස්වරුවේ එම ස්ථානයට පැමිණියා.
එහිදී මහා සංඝරත්නය ඉල්ලා සිටියේ හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා විසින් ඥානසාර හිමියන්ට ලබාදුන් ජනාධිපති සමාව සම්බන්ධයෙන් පවතින බව කියන තාක්ෂණික දෝෂය නිවැරදි කර දෙන ලෙසයි.
එම කටයුතු සඳහා ගතවන කාලය පිළිබඳව දැනුම් දෙන ලෙස ද උන්වහන්සේලා ඉල්ලා තිබෙනවා.
කෙසේ වෙතත්, ඊට පිළිතුරු දෙමින් ජනාධිපති ලේකම්වරයා සඳහන් කර ඇත්තේ මේ අවස්ථාවේදී ඒ සම්බන්ධයෙන් නිශ්චිත පිළිතුරක් ලබාදිය නොහැකි බවයි.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk