2026-11-17 14:20:00 Hours
කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව සිදුකෙරෙන දූෂණ චෝදනා සම්බන්ධ විමර්ශනයට අදාළව, කතානායකවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ රියදුරන් දෙදෙනෙකුට හෙට (18) සහ අනිද්දා (19) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබෙනවා.
කොමිසමේ විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ඒ.එච්.එම්.ජී. අබේසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවේ අධ්යක්ෂ (පරිපාලන) මාර්ගයෙන් මෙම දැනුම්දීම සිදුකර ඇති බව සඳහන්.
පාර්ලිමේන්තුවට අයත් NC 4923 දරන රථය භාරගැනීම සහ එය යොදාගෙන ඇති රාජකාරි පිළිබඳ සියලු තොරතුරු රැගෙන එන ලෙස රියදුරන්ට දැනුම් දී තිබෙනවා.
එමෙන්ම, 2025 සැප්තැම්බර් මාසයේ සිට මේ දක්වා එම රථයේ ධාවන සාරාංශ සහ මේ වසරේ ජනවාරි 7 වැනිදා සිදුවූ රිය අනතුරට අදාළ ලේඛන ද සමඟ කොමිසම හමුවේ පෙනී සිටින ලෙසයි දැනුම් දී ඇත්තේ.
කතානායකවරයාට එරෙහිව මෙම විමර්ශනය ආරම්භ කර ඇත්තේ, 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත යටතේයි.
පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පසුගිය පෙබරවාරි 2 වැනිදා කළ පැමිණිල්ලකට අනුව විමර්ශනය ආරම්භ කර තිබෙනවා.
කතානායකවරයාට නිල වශයෙන් හිමිවන්නේ වාහන දෙකක් පමණක් වුවද, අනුමැතියකින් තොරව මාධ්‍ය අංශයක් පිහිටුවා එම අංශයට පාර්ලිමේන්තුවේ වාහනයක් නීති විරෝධී ලෙස ලබාගෙන ඇති බවට එම පැමිණිල්ලෙන් චෝදනා කර තිබුණා.
අදාළ වාහනය කතානායකවරයාගේ කටයුතු සඳහා යොදවා තිබියදී අනතුරට ලක්ව ඇති බවත්, එය අලුත්වැඩියා කිරීම සඳහා රක්ෂණ මුදලට අමතරව පාර්ලිමේන්තුවේ මුදල් ද වැය කර ඇති බවත් ආරංචි මාර්ග සඳහන් කරනවා.
මේ සම්බන්ධයෙන් අල්ලස් කොමිසම පාර්ලිමේන්තුවේ ප්‍රවාහන අංශයේ උසස් නිලධාරීන් කිහිපදෙනෙකුගෙන් ද පසුගියදා ප්‍රශ්න කර තිබුණා.
මේ අතර, අල්ලස්, දූෂණ සහ අක්‍රමිකතා චෝදනා පදනම් කරගනිමින් කතානායකවරයාට එරෙහිව විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් විශ්වාසභංග යෝජනාවක් ද ඉදිරිපත් කර තිබෙනවා.
චෝදනා 50ක් ඇතුළත් එම යෝජනාවේ, නිල වශයෙන් හිමි වාහන දෙකට අමතරව තවත් වාහනයක් නීතිවිරෝධී ලෙස භාවිත කළ බවට එල්ල වන චෝදනාව ද ඇතුළත්.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk