2026-11-02 19:28:00 Hours
ආර්ථික කටයුතු අටක් සඳහා බදු ගෙවන්නන් හඳුනා ගැනීමේ අංකය (TIN) ඉදිරිපත් කිරීම අනිවාර්ය කිරීමත් සමඟ, එම අංකය මෙතෙක් ලබාගෙන නොමැති විශාල පිරිසක් අද (02) දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කාර්යාල වෙත පැමිණ තිබෙනවා.
මේ හේතුවෙන් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ මෙන්ම ප්‍රාදේශීය කාර්යාලවල ද දැඩි තදබදයක් හටගෙන ඇති බව වාර්තා වනවා.
එමෙන්ම, TIN අංකය ලබා ගැනීම සඳහා අන්තර්ජාලය ඔස්සේ එකවර විශාල පිරිසක් අයදුම් කිරීමට යොමුවීම හේතුවෙන් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ ද අවහිරතා මතුව තිබිණි. ඒ අනුව, නඩත්තු කටයුතු සඳහා වෙබ් අඩවිය තාවකාලිකව අක්‍රිය කිරීමට ද පියවර ගෙන තිබෙනවා.
බැංකු ගිණුමක් විවෘත කිරීම, වාහනයක් ලියාපදිංචි කිරීම, ආදායම් බලපත්‍රයක් අලුත් කිරීම සහ ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීම ඇතුළු ආර්ථික කටයුතු අටක් සඳහා නොවැම්බර් 01 වැනිදා සිට TIN අංකය ඉදිරිපත් කිරීම අනිවාර්ය කර ඇත.
මේ අතර, TIN අංකය ලබා ගැනීම සඳහා විශාල පිරිසක් කාර්යාල වෙත පැමිණීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක, කොමසාරිස් නන්දන කුමාර මහතා සඳහන් කළේ, අවශ්‍යතාවක් ඇති විට පමණක් TIN අංකය ලබා ගැනීම සඳහා අදාළ කාර්යාල වෙත යොමුවන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි.
"2026 නොවැම්බර් මස පළමුවැනිදා සිට ආර්ථික ක්‍රියාකාරකම් අටක් සඳහා TIN අංකය අනිවාර්ය කර තිබෙනවා. වයස අවුරුදු 18ට වැඩි සියලු දෙනා TIN අංකයක් ලබාගත යුතු බවට 2024 ජනවාරි පළමුවැනිදා සිට නීතිමය අවශ්‍යතාවක් පවතිනවා.
TIN අංකය ලබා ගැනීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට හෝ ප්‍රාදේශීය කාර්යාලයකට පැමිණීමේදී, අදාළ ආර්ථික ක්‍රියාකාරකම් අට සඳහා එම අංකය අත්‍යවශ්‍ය වන පුද්ගලයන් පමණක් අදාළ අංශ වෙත යොමුවන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
කෙසේ වෙතත්, අනෙකුත් පුද්ගලයන් සඳහා ද TIN අංක නිකුත් කිරීමේ ක්‍රියාවලිය අඛණ්ඩව සිදු කරනවා. ඒ නිසා කලබල වීමේ අවශ්‍යතාවක් නැහැ.
කාර්යාල කටයුතු පහසුවෙන් කළමනාකරණය කර ගැනීම සඳහා මහජනතාවගේ සහයෝගය අපේක්ෂා කරනවා.
යම් පුද්ගලයෙකුට ආදායම් බලපත්‍රයක් අලුත් කිරීම සඳහා TIN සහතිකයේ පිටපතක් ඉදිරිපත් කළ හැකියි.
ඒ නිසා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද TIN සහතිකය ආරක්ෂිතව ළඟ තබාගෙන, අදාළ ආයතන වෙත ඉදිරිපත් කිරීමේදී එහි පිටපතක් භාවිත කරන ලෙසත් මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා."
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk