2026-10-31 10:16:00 Hours
පසුගිය 17 වැනිදා රටපුරා සිදුවූ හදිසි විදුලි බිඳවැටීම සම්බන්ධයෙන් ජාතික පද්ධති ක්රියාකරු සමාගම විසින් සකස් කළ මූලික විමර්ශන වාර්තාව මහජන උපයෝගිතා කොමිසම වෙත යොමු කර තිබෙනවා.
එම වාර්තාවට අනුව, එදින පෙරවරු 11.43ට පමණ නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ පළමු ජනන ඒකකයෙන් ජාතික පද්ධතියට එක්වෙමින් තිබූ මෙගාවොට් 187ක විදුලි ධාරිතාවක් මිලි තත්පර 450ක් ඇතුළත අහිමි වී ඇති බව සඳහන්.
ඒ සමඟ විදුලි පද්ධතියේ සංඛ්යාතය හර්ට්ස් 48.75 දක්වා පහත වැටී ඇති අතර, සිදුවීම ආරම්භ වී තත්පර 4.1ක් ඇතුළත සමස්ත විදුලි පද්ධතියම බිඳවැටී ඇති බවයි වාර්තාවේ දැක්වෙන්නේ.
විදුලි පද්ධතියේ සංඛ්යාතය පහත වැටීමේදී එහි ස්ථාවරත්වය ආරක්ෂා කරගැනීම සඳහා ක්රියාත්මක වන ස්වයංක්රීය විදුලි බර විසන්ධි කිරීමේ ක්රමවේදයේ (UFLS) අදියර පහම එම අවස්ථාවේදී ක්රියාත්මක වී තිබෙනවා.
ඒ අනුව මෙගාවොට් 449.2කට සමාන විදුලි ධාරිතාවක් විසන්ධි වී ඇති අතර, එය බිඳවැටීමට පෙර පැවති මෙගාවොට් 1,135ක සමස්ත විදුලි ජනනයෙන් සියයට 39.6ක් බවද අදාළ වාර්තාවේ සඳහන්.
කෙසේ වෙතත්, එම ක්රියාමාර්ග හරහා විදුලි පද්ධතියේ සම්පූර්ණ බිඳවැටීම වළක්වා ගැනීමට හැකි වී නැහැ.
මේ අතර, නොරොච්චෝලේ බලාගාරයට අමතරව වික්ටෝරියා, කොත්මලේ, රන්දෙණිගල, සමනලවැව, ලක්ෂපාන ඇතුළු ජල විදුලි බලාගාර කිහිපයක ජනන ඒකක ද ආරක්ෂක පද්ධති ක්රියාත්මක වීම හේතුවෙන් අක්රීය වී තිබෙනවා.
විදුලි පද්ධතිය බිඳවැටීමෙන් පසු එය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු කඩිනමින් ආරම්භ කර ඇති අතර, ඒ සඳහා ප්රධාන පද්ධති හතරක් භාවිත කර ඇති බවයි වාර්තාවේ දැක්වෙන්නේ.
ඒ අනුව මහවැලි, ලක්ෂපාන, සමනලවැව හා දකුණු පද්ධතිය සහ කොළඹ පද්ධතිය යොදාගනිමින් විදුලි සැපයුම යළි ස්ථාපිත කිරීමේ කටයුතු සිදුකර තිබෙනවා.
සියලු ප්රධාන උපපොළවල් පස්වරු 4.58 වන විට යථා තත්ත්වයට පත් කිරීමට හැකිවී ඇති අතර, සමස්ත ජාතික සම්ප්රේෂණ පද්ධතිය යළි සක්රීය කිරීමට පැය 5යි මිනිත්තු 15ක කාලයක් ගතවී ඇති බවද සඳහන්.
විදුලි සැපයුම යළි ස්ථාපිත කිරීමේදී ඇතැම් බලාගාරවල තාක්ෂණික ගැටලු සහ මෙහෙයුම් ප්රමාදයන් ද වාර්තා වී තිබෙනවා. විශේෂයෙන් යුගදනවි බලාගාරයේ ජනන ඒකකයක් යළි ක්රියාත්මක කිරීමේදී එහි උපකාරක පද්ධතියක ඇතිවූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ප්රමාදයක් සිදුව ඇති බවයි වාර්තාවේ දැක්වෙන්නේ.
කෙසේ වෙතත්, නොරොච්චෝලේ බලාගාරයේ පළමු ජනන ඒකකයෙන් විදුලි ධාරිතාව හදිසියේ අහිමිවීමට බලපෑ නිශ්චිත හේතුව මූලික වාර්තාවෙන් මෙතෙක් තහවුරු කර නැහැ.
ඒ සම්බන්ධයෙන් සවිස්තරාත්මක විමර්ශන වාර්තාවක් ඉදිරියේදී මහජන උපයෝගිතා කොමිසම වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව ජාතික පද්ධති ක්රියාකරු සමාගම වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk