2026-10-30 19:28:00 Hours

කථානායකට එරෙහි විශ්වාසභංගය ලබන 03 විවාදයට ගන්නේ නැහැ - ඇමති බිමල්


...

කථානායකවරයාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව ලබන නොවැම්බර් 03 වැනිදා විවාදයට නොගන්නා බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා.

අමාත්‍යවරයා සඳහන් කළේ අදාළ විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවලට අනුකූල වන පරිදි සංශෝධනය කර ඔක්තෝබර් 28 වැනිදාට පෙර භාරදී නොමැති බැවින් එදින විවාදයට ගැනීමට නොහැකි බවයි.

ඒ අනුව, ලබන නොවැම්බර් 03 වැනිදා පාර්ලිමේන්තුව කල් තැබීමේ විවාදයක් පැවැත්වීමට වෙන් කර ඇති බව ද ඔහු සඳහන් කළා.

කෙසේ වෙතත්, ස්ථාවර නියෝගවලට අනුව විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කරන්නේ නම් අයවැය විවාද කාලයට පෙර එය විවාදයට ගැනීමට හැකි බව පාර්ලිමේන්තු කාරක සභාවේදී දැනුම් දුන් බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.

"විපක්ෂයෙන් කථානායකතුමාට ඉදිරිපත් කර තිබෙන විශ්වාසභංගය පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග උල්ලංඝනය නොවන පරිදි, ස්ථාවර නියෝගවලට ගැලපෙන පරිදි, පාර්ලිමේන්තුවේ මෙතෙක් කථානායකතුමන්ලාට ඉදිරිපත් කරලා තිබෙන විශ්වාසභංගවලත් ස්වභාවය පදනම් කරගෙන ස්ථාවර නියෝගවලට ගැලපෙන පරිදි ඉදිරිපත් කරන්න කියන එක.

එතැනදි අපි ඉල්ලා සිටියා මෙම මස 28 වැනිදාට පෙර විපක්ෂයෙන් එම විශ්වාසභංගය ස්ථාවර නියෝගයට ගැලපෙන පරිදි වෙනස් කර ලබා දෙන්න කියලා. නමුත් එය විපක්ෂය පැත්තෙන් ස්ථාවර නියෝගවලට ගැලපෙන පරිදි සංශෝධනය කර ලබා නොදුන් නිසා පාර්ලිමේන්තුවට විවාද කළ නොහැකියි. පාර්ලිමේන්තුව විසින් කටයුතු කළ යුතු වන්නේ එය විසින්ම සම්මත කරගෙන තිබෙන ස්ථාවර නියෝග අනුව.

පාර්ලිමේන්තුවේ කථානායක තනතුර කියන්නේ පාර්ලිමේන්තුවේ ප්‍රධානියා. ඒ නිසා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවලට අදාළව ජනාධිපතිතුමාට, අග්‍රවිනිශ්චයකාරතුමා ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන්ට, කථානායකතුමා වැනි ප්‍රධාන තනතුරුවල පුද්ගලයින්ට අදාළව විශ්වාසභංග ඉදිරිපත් කළ හැක්කේ කුමන ආකාරයෙන්ද කියන එක සම්බන්ධව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 83 තිබෙනවා.

ඒ වගේම අධිකරණයේ තිබෙන කරුණු සහ විශ්වාසභංගයක් සැලසුම්කර සකස් කිරීම සම්බන්ධයෙන් 91 ස්ථාවර නියෝගවල පැහැදිලි කරලා තිබෙනවා. ඒ වගේම පාර්ලිමේන්තුවේ කාරක සභාවට තමයි මේ පිළිබඳව තීන්දු අරගෙන පාර්ලිමේන්තුවේ වැඩසටහනට එකතු කිරීමේ හැකියාව තිබෙන්නේ.

ඒ නිසා විපක්ෂය පැත්තෙන් එය ඉදිරිපත් නොකිරීම නිසා නොවැම්බර් 3 වැනිදා පාර්ලිමේන්තුවේ දිනය සම්පූර්ණයෙන් වෙනස් කරලා තිබෙනවා කල්තැබීමේ විවාදයකට"



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk