2026-09-27 21:13:00 Hours

2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යාමක් - දිනන දකුණ


...

2027 වසරෙන් පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන අතහැර දැමීම ශ්‍රී ලංකාව යළි ආර්ථික අගාධයකට ඇද දැමීමක් විය හැකි බව ‘දිනන දකුණ’ සාමූහිකය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම සාමූහිකය සඳහන් කරන්නේ, ආර්ථික අර්බුදයෙන් පසුව ශ්‍රී ලංකාව බිඳෙන සුළු වුවත් ආර්ථික ප්‍රතිස්ථාපනයක් කරා ගමන් කරමින් සිටින අවස්ථාවක, ජාත්‍යන්තර මූල්‍ය රාමුවෙන් බැහැර දේශපාලන ප්‍රකාශවලට යටත් වීම ප්‍රතික්ෂේප කළ යුතු බවයි.

2027 මාර්තු මාසයේදී වත්මන් විස්තීරණ අරමුදල් පහසුකම අවසන් වීමෙන් පසු, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පවතින ව්‍යුහාත්මක සබඳතාව හදිසියේ අත්හැර දැමීමට ආණ්ඩුවේ ඇතැම් පාර්ශ්ව කටයුතු කරමින් සිටින බවටද එම සාමූහිකය චෝදනා කරනවා.

එවැනි ප්‍රවණතාවක් අනතුරුදායක මතවාදී සූදුවක් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

IMF වැඩසටහනෙන් තොරව ස්වාධීන ආර්ථික ගමනක් යා හැකි බවට ඇතැමුන් දරන මතය, රටේ ආර්ථික තත්ත්වයේ පවතින යථාර්ථය නොසලකා හැරීමක් ලෙස තම සාමූහිකය දකින බවද එහි සඳහන්.

දේශපාලන බලපෑම් හේතුවෙන් යළි අතාර්කික සහනාධාර මත පදනම් වූ ආර්ථිකයකට ප්‍රවේශ වුවහොත්, මේ වනවිට අත්කරගෙන ඇති ආර්ථික ස්ථාවරත්වය බිඳ වැටී රට යළි බංකොලොත්භාවයේ අගාධයට ඇද වැටිය හැකි බවද ‘දිනන දකුණ’ සාමූහිකය පවසනවා.

එමෙන්ම මෙවර අයවැයෙන් යෝජනා කිරීමට නියමිත ඇතැම් ආර්ථික සහන සඳහා වන රජයේ වියදම්, තමන්ගේ මතය අනුව, “වෙස්වළාගත් මූල්‍ය අපතේ යැවීම්” ලෙස හැඳින්විය හැකි බවද එම සාමූහිකය වැඩිදුරටත් සඳහන් කරනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk