2026-09-18 09:30 Hours

එංගලන්තය හමුවේ ශ්‍රී ලංකාවට යළිත් පරාජයක්


...

එංගලන්තය සමඟ පැවති තරග තුනකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන්ද ශ්‍රී ලංකාවට කඩුලු 6ක පරාජයක් අත්වුණා.

කාඩිෆ්හිදී පැවති තරගයේ කාසියේ වාසිය දිනාගත් එංගලන්ත නායක හැරී බෘෘක් පළමුව පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකාවට ආරාධනා කළා.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනස්කම් දෙකක් සමඟින් තරගයට එක්වූ අතර, දුනිත් වෙල්ලාලගේ සහ මහීෂ් තීක්ෂණ වෙනුවට තරිඳු රත්නායක සහ දිල්ෂාන් මධුශංක කණ්ඩායමට කැඳවා තිබුණා.

ඉනිම ආරම්භ කළ පැතුම් නිස්සංක සහ ලහිරු උදාර පළමු කඩුල්ලට ලකුණු 56ක සබඳතාවක් ගොඩනැගූ අතර, ලහිරු උදාර ලකුණු 21කට දැවී ගියා. පැතුම් නිස්සංක රැස් කළ ලකුණු සංඛ්‍යාව 37ක්.

අනතුරුව ශ්‍රී ලංකා පිතිකරුවන්ට එංගලන්ත පන්දු යවන්නන් හමුවේ සාර්ථක වීමට නොහැකි වූ අතර, කඩුලු අඛණ්ඩව බිඳ වැටුණා.

වනිඳු හසරංග ලකුණු 27ක් සහ කමිඳු මෙන්ඩිස් ලකුණු 12ක් රැස් කළ අතර, ශ්‍රී ලංකාවට පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 145ක් පමණයි.

එංගලන්තය වෙනුවෙන් ලියම් ඩෝසන් කඩුලු 3ක් සහ ජොෆ්රා ආචර් කඩුලු 2ක් දවාගත්තා.

ලකුණු 146ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය එංගලන්තය පන්දුවාර 12යි පන්දු 1ක් අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 146ක් රැස්කරමින් තරගය ජයගත්තා.

ඒ අනුව තවත් පන්දු 47ක් ඉතිරිව තිබියදීම කඩුලු 6ක ජයක් වාර්තා කළ එංගලන්තය, තරග තුනකින් සමන්විත විස්සයි20 තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබියදීම ජය ගැනීමට සමත් වුණා.

ලකුණු 32කට කඩුලු 3ක් දවාගත් අතර, උඩපන්දු දෙකක්ද රැකගත් ලියම් ඩෝසන් තරගයේ වීරයා ලෙස නම් කෙරුණා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk