2026-09-27 17:57:00 Hours

උතුරු මුහුදේ දී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම හෙළිවෙයි


...

නාවික හමුදාව අද (27) අලුයම උතුරේ මාදගල්, කුසුමන්තුරෙයි වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් බිලියන 1.5ක් පමණ වන බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පවසනවා.

මෙම මෙහෙයුමේදී නාවික හමුදාව භාරයට ගෙන ඇති මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝග්‍රෑම් 81කට ආසන්නයි.

ඒ අතර හෙරොයින් කිලෝග්‍රෑම් 35කට ආසන්න ප්‍රමාණයක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 45කට ආසන්න ප්‍රමාණයක් ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

ඔහු පැවසුවේ මෑත ඉතිහාසයේ උතුරු ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගත් විශාලතම මත්ද්‍රව්‍ය තොගය මෙය බවයි.

මේ අතර, 2025 වසරේදී නාවික හමුදාව සිදුකළ මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් බිලියන 75ක් පමණ වන බවද ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

මෙම වසරේ මේ දක්වා නාවික හමුදා මෙහෙයුම්වලින් අත්අඩංගුවට ගෙන ඇති මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් බිලියන 56ක් පමණ වන බවද ඔහු පැවසුවා.

උතුරු නාවික විධානයට ලැබුණු බුද්ධි තොරතුරක් මත නාවික නෞකා අග්බෝ සහ දියත් අංශය ඇතුළු කණ්ඩායම් කිහිපයක් එක්ව මෙම වැටලීම සිදුකර ඇති බව නාවික හමුදාපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මහතා සඳහන් කළා.

අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය යාපනය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ විශේෂඥ සහාය ඇතිව වැඩිදුර පරීක්ෂණ සඳහා යොමු කර තිබෙනවා.

නාවික හමුදාපතිවරයා සඳහන් කළේ, ඉදිරියේදී මෙහෙයුම් තවදුරටත් දැඩි කිරීමට පියවර ගන්නා බවයි.

එමෙන්ම සංකීර්ණ පරිසරයන් තුළ සිදුකරන මෙහෙයුම් සඳහා තාක්ෂණය වැඩි වශයෙන් යොදාගැනීමට නාවික හමුදාව අපේක්ෂා කරන බවත්, ඒ සඳහා අවශ්‍ය උපකරණ මේ වනවිට ලැබෙමින් පවතින බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk