2026-09-19 14:33:00 Hours

CNN ඇතුළු මාධ්‍ය ආයතන තුනකට ධවල මන්දිරයෙන් තහනමක්


...

CNN, MS NOW සහ Politico යන ප්‍රමුඛ පෙළේ මාධ්‍ය ආයතන තුනට ධවල මන්දිරයට ඇතුළුවීම වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබෙනවා.

තම පාලනය සම්බන්ධයෙන් අදාළ මාධ්‍ය ආයතන විසින් අසත්‍ය සහ ප්‍රබන්ධ වාර්තා නිරන්තරයෙන් පළ කරන බවට චෝදනා කරමින් ජනාධිපතිවරයා සිය ‘Truth Social’ ගිණුමේ සටහනක් තබමින් මෙම තීරණය ප්‍රකාශයට පත්කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

කෙසේ වෙතත්, එම චෝදනා සම්බන්ධයෙන් ජනාධිපති ට්‍රම්ප් නිශ්චිත සාක්ෂි කිසිවක් ඉදිරිපත් කර නොමැති බවද වාර්තා වනවා.

මේ අතර, අදාළ තහනම ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්න මෙන්ම එම මාධ්‍ය ආයතනවල මාධ්‍යවේදීන්ට ධවල මන්දිර පරිශ්‍රයට ඇතුළුවීම සම්පූර්ණයෙන්ම තහනම් කරන්නේද යන්න පිළිබඳව මෙතෙක් පැහැදිලි තොරතුරු වාර්තා වී නැහැ.

ජනාධිපතිවරයාගේ මෙම තීරණය සම්බන්ධයෙන් අමෙරිකානු මාධ්‍ය සංවිධාන සහ නීති විශාරදයන්ගෙන් දැඩි විවේචන එල්ල විය හැකි බවත්, ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටද ඉඩ ඇති බවත් විදෙස් වාර්තා සඳහන් කරනවා.

මේ අතර, ජනාධිපති ට්‍රම්ප්ගේ තීරණය විවේචනය කරමින් CNN නාලිකාව නිවේදනය කර ඇත්තේ, එය අමෙරිකානු මාධ්‍ය නිදහසට එල්ල වූ නීති විරෝධී ප්‍රහාරයක් බවයි.

තම මාධ්‍යවේදීන් වෙනුවෙන් සැමවිටම පෙනී සිටින බවත්, ඔවුන්ගේ සාධාරණ සහ නිවැරදි වාර්තාකරණයට පූර්ණ සහය ලබාදෙන බවත් CNN නාලිකාව වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk