2026-09-23 07:34:00 Hours

පාස්කු නඩුවේ වරදකරුවන් 15කට වසර 200 සිට 260 දක්වා සිරදඬුවම්


...

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළව විභාග වූ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් වරදකරුවන් වූ විත්තිකරුවන් 15 දෙනෙකුට වසර 200 සිට 260 දක්වා බරපතළ සිරදඬුවම් නියම කර තිබෙනවා.

ඒ අනුව විත්තිකරුවන් පස් දෙනෙකුට වසර 200 බැගින්ද, තවත් පස් දෙනෙකුට වසර 220 බැගින්ද සිරදඬුවම් නියම කෙරුණා.

විත්තිකරුවන් සිව්දෙනෙකුට වසර 240 බැගින් සහ තවත් එක් විත්තිකරුවෙකුට වසර 260ක සිරදඬුවමක් නියම කර තිබෙනවා.

කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබාදුන් අතර, නවරත්න මාරසිංහ, රාමනාදන් කන්නන් සහ සුජීව නිශ්ශංක යන විනිසුරුවරුන් ඊට ඇතුළත්.

නීතිපතිවරයා ඉදිරිපත් කළ චෝදනා සාධාරණ සැකයකින් ඔබ්බට ඔප්පු වී ඇති බව තීරණය කළ අධිකරණය, විත්තිකරුවන් 15 දෙනා චෝදනාවලට වරදකරුවන් බවට තීන්දු කළා.

මේ අතර, විත්තිකරුවන් 9 දෙනෙකු අදාළ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමටද අධිකරණය නියෝග කර තිබෙනවා. තවත් එක් විත්තිකරුවෙකුට එරෙහිව පැවති එක් චෝදනාවකින් පමණක් ඔහු නිදහස් කර ඇති බව සඳහන්.

එමෙන්ම වරදකරුවන් වූ විත්තිකරුවන් 15 දෙනාට අයත් සියලුම නිශ්චල සහ චංචල දේපළ රාජසන්තක කිරීමටද අධිකරණය නියෝග කළා.

පාස්කු ප්‍රහාරයට කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබල දීම, අන්තවාදී අදහස් ප්‍රචලිත කිරීම සහ ජාතීන් අතර අසමගිය ඇති කිරීම ඇතුළු චෝදනා 23,270කට අධික සංඛ්‍යාවක් යටතේ මෙම නඩුව විභාග කෙරුණා.

2019 අප්‍රේල් 21 වැනිදා සිදුකළ එම ප්‍රහාරයෙන් පුද්ගලයින් 269 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, 500කට අධික පිරිසක් තුවාල ලැබුවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk