2026-08-09 20:13:00 Hours
තමා යළි සක්‍රීය දේශපාලනයට පිවිසීමට කිසිදු අදහසක් නොමැති බව අමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා පවසනවා.
වසර 27ක පමණ කාලයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළද, ඉදිරියේදී දේශපාලනයෙන් ඉවත්ව සිටීමට තීරණය කර ඇති බවයි ඔහු සඳහන් කළේ.
අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති ධුරයෙන් ඉවත්වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් සමරසිංහ මහතා පැවසුවේ, වසර පහකට ආසන්න කාලයක් එම ධුරයේ සේවය කිරීමෙන් අනතුරුව පෞද්ගලික හේතූන් මත තමන් ඉන් ඉවත් වූ බවයි.
එමෙන්ම, තානාපති ධුරයෙන් ඉවත් වන ලෙස රජයෙන් කිසිදු බලපෑමක් එල්ල නොවූ බවද ඔහු අවධාරණය කළා.
අද (09) මහනුවරදී අස්ගිරි සහ මල්වතු පාර්ශ්වයන්හි මහානාහිමිවරුන් බැහැදැක ආශීර්වාද ලබාගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු තානාපතිවරයා මේ බව පැවසුවා.
තම තානාපති සේවා කාලය තුළ ශ්‍රී ලංකා - අමෙරිකා සබඳතා ශක්තිමත් කිරීමට කටයුතු කළ බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් ගිවිසුම් සඳහා අමෙරිකාවේ සහය ලබා ගැනීමට මෙන්ම අමෙරිකානු බදු අනුපාතය සියයට 10ක මට්ටමක පවත්වා ගැනීමට කටයුතු කළ බවත් ඔහු කියා සිටියා.
එමෙන්ම, අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට නාවික යාත්‍රාවක් සහ හෙලිකොප්ටර් කිහිපයක් ලබා ගැනීමටද තමන් කටයුතු කළ බවයි මහින්ද සමරසිංහ මහතා සඳහන් කළේ.
කෙසේ වෙතත්, ජාත්‍යන්තර කටයුතු සම්බන්ධයෙන් රජයෙන් ඉල්ලීමක් ඉදිරිපත් වුවහොත් ඉදිරියේදීත් තම සහය ලබාදීමට සූදානම් බව ඔහු පැවසුවා.
සක්‍රීය දේශපාලනයෙන් ඉවත්ව සිටින බැවින් වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වීමට තමන් සූදානම් නොමැති බවද හිටපු තානාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.
මේ අතර, මහින්ද සමරසිංහ මහතා රාජ්‍ය තාන්ත්‍රික සේවයේදී ඉටු කළ සේවය සම්බන්ධයෙන් මල්වතු සහ අස්ගිරි පාර්ශ්වයන්හි මහානාහිමිවරුන්ගේ ඇගයීමටද ලක්ව තිබෙනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk