2026-10-18 21:47:00 Hours
හදිසි විදුලි බිඳවැටීමත් සමඟ ආරක්ෂිත පියවරක් ලෙස අක්රීය කළ නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය දින කිහිපයක් යනතුරු ජාතික විදුලිබල පද්ධතියට යළි සම්බන්ධ නොකරන බව ජාතික පද්ධති ක්රියාකරු පෞද්ගලික සමාගම පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම සඳහන් කළේ, බලාගාරය අක්රීය කිරීම හේතුවෙන් පද්ධතියට අහිමි වන මෙගාවොට් 810ක ධාරිතාව කළමනාකරණය කරමින් ඉදිරි දින කිහිපයේදී පාරිභෝගිකයන්ට අවම බලපෑමක් වන අයුරින් විදුලිය සැපයීමට පියවර ගෙන ඇති බවයි.
මේ දිනවල පවතින වර්ෂාපතනය හේතුවෙන් ජල විදුලි ජනනය උපරිම මට්ටමක පවත්වා ගැනීමට හැකිවීමත්, විදුලි ඉල්ලුම සාපේක්ෂව අඩුවීමේ ප්රවණතාවත් ඊට උපකාරී වනු ඇති බවද එම සමාගම පෙන්වා දෙනවා.
ඊයේ (17) පෙරවරු 11.43ට පමණ ජනන යන්ත්රයක් ජාතික විදුලිබල පද්ධතියෙන් ඉවත්වීමත් සමඟ ඇති වූ අසමතුලිතතාව හේතුවෙන් තත්පර 30කට අඩු කාලයක් තුළ මුළු දිවයිනටම බලපාන පරිදි විදුලි බිඳවැටීමක් සිදුවුණා.
ඉන් අනතුරුව පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු කඩිනමින් ආරම්භ කර ඇති අතර, දහවල් 12.11 වන විට ප්රධාන ජල විදුලි ජනන යන්ත්ර පද්ධතියට එක් කරමින් විදුලි පද්ධතිය කොටස් හතරක් යටතේ යළි පණ ගැන්වීමට පියවර ගත් බවයි එම සමාගම සඳහන් කළේ.
නැවත විදුලි සම්බන්ධතා ලබාදීමේදී පද්ධති පාලන මධ්යස්ථානයේ පාලනයට යටත් නොවන කුඩා ජනන ප්රභව හේතුවෙන් අභියෝගාත්මක තත්ත්වයක් මතුවුණා.
කෙසේ වෙතත්, පස්වරු 3 පමණ වන විට ප්රධාන රෝහල්, ජල පවිත්රාගාර සහ ගුවන් තොටුපළ ඇතුළු අත්යවශ්ය සේවාවන් සඳහා විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට හැකි වූ බවද නිවේදනයේ සඳහන්.
පස්වරු 5 වන විට සියලු ග්රිඩ් උපපොළවලට විදුලි සම්බන්ධතා ලබාදී පාරිභෝගිකයන් බහුතරයකගේ විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කළ බව එම සමාගම වැඩිදුරටත් ප්රකාශ කළා.
ජනන යන්ත්රයක් ආරක්ෂිත පියවරක් ලෙස හදිසියේ පද්ධතියෙන් විසන්ධි වීම සාමාන්ය සිදුවීමක් වුවද, එවැනි සිදුවීමක් හෝ වෙනත් බාධාවක් හේතුවෙන් සමස්ත විදුලි පද්ධතියම බිඳවැටීම සාමාන්ය තත්ත්වයක් නොවන බවද එම සමාගම පෙන්වා දෙනවා.
මෙම විදුලි බිඳවැටීමට හේතු වූ නිශ්චිත සිද්ධි දාමය හඳුනා ගැනීම සඳහා අභ්යන්තර විමර්ශනයක්ද ආරම්භ කර තිබෙනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk