2026-10-18 07:51:00 Hours
පාසල් පද්ධතියේ පවතින ගැටලු සහ අධික ජීවන වියදමට එරෙහිව ප්රංශය පුරා පැවැති දැවැන්ත විරෝධතා අතරතුර හටගත් ප්රචණ්ඩකාරී සිදුවීම් සම්බන්ධයෙන් පුද්ගලයින් 1,200කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
විදෙස් මාධ්ය වාර්තා කළේ, මෙම විරෝධතා සඳහා ලක්ෂ පහහමාරකට ආසන්න පිරිසක් එක්ව සිටි බවයි.
පැරිස් අගනුවර ඇතුළු ප්රධාන නගර රැසක රාත්රිය වනතුරු විරෝධතාකරුවන් සහ කැරලි මර්දන පොලිසිය අතර ගැටුම් හටගෙන තිබෙනවා. එහිදී විරෝධතාකරුවන් විසුරුවා හැරීම සඳහා පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්රහාර එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.
ප්රචණ්ඩකාරී කණ්ඩායම් ගොඩනැගිලි, වෙළෙඳසැල් සහ වාහනවලට ගිනි තබා හානි සිදුකර ඇති අතර, ලිමෝජස් නගරයේ නගර සභා ගොඩනැගිල්ලේ වහලයේ කොටසක් ද කඩා වැටී තිබෙනවා. ලිල් නගරයේ ඇපල් වෙළෙඳසැලක් ඇතුළු ස්ථාන කිහිපයක් කොල්ලකා ඇති බව ද විදෙස් වාර්තාවල සඳහන්.
මෙම සිදුවීම්වලින් පොලිස් නිලධාරීන් 150කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බව ප්රංශ අග්රාමාත්ය සෙබස්තියන් ලෙකෝර්නු ප්රකාශ කර තිබෙනවා.
ප්රංශයේ වයස අවුරුදු 15ත් 18ත් අතර සිසුන් අධ්යාපනය ලබන ද්විතීයික පාසල්වල ගුරු හිඟය, ගොඩනැගිලි අලුත්වැඩියා නොකිරීම ඇතුළු ගැටලු මුල් කරගනිමින් මෙම විරෝධතා ආරම්භ වී ඇති බවයි වාර්තා වන්නේ.
පසුව ඊට වෘත්තීය සමිති සහ 2018 වසරේදී ජීවන වියදමට එරෙහිව විරෝධතා පැවැත්වූ ‘කහ කබා’ ව්යාපාරයේ සාමාජිකයින් ද එක්ව තිබෙනවා.
එළඹෙන වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය හමුවේ ප්රංශයේ දේශපාලන නොසන්සුන්තාවක් පවතින පසුබිමක මෙම විරෝධතා හටගෙන ඇති අතර, ප්රචණ්ඩකාරී ක්රියා සහ පොදු දේපළ විනාශ කිරීම් සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්රියාත්මක කරන බව ජනාධිපති එමානුවෙල් මැක්රොන් ප්රකාශ කර තිබෙනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk