2026-10-18 19:10 Hours

අධිකරණ තීන්දුවලට රජය යටත් - ජනපති


...

අධිකරණය ලබාදෙන තීරණ රටේ නීතිය සම්බන්ධයෙන් අවසන් තීරණ වන බැවින්, රජයක් ලෙස ඒ සියල්ලට යටත් වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ජනාධිපතිවරයා අවධාරණය කරන්නේ අධිකරණ තීන්දුවලින් ඔබ්බට වෙනත් තීරණ තමන්ගෙන් බලාපොරොත්තු වීමෙන් පලක් නොමැති බවයි.

අද (18) බදුල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුව අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබාදුන් පසු එය ඉවත් කරන ලෙස ඉල්ලා හඬ නැඟීමෙන් නීතියේ ආධිපත්‍යය පවත්වාගෙන යා නොහැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය බලතල අදාළ ආයතන වෙත ලබාදී ඇති බවද ඔහු පැවසුවා.

නීතිය ඉදිරියේ සියලුදෙනා සමාන විය යුතු බවත්, මෙතෙක් තමන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවනු ඇතැයි සිතූ පිරිස් වෙත පවා මේ වන විට නීතිය ක්‍රියාත්මක වන බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

මේ අතර, නිර්මාණශීලී දරුවෙකු බිහිකිරීම සඳහා පැරණි ඒකාකාරී අධ්‍යාපන ක්‍රමය වෙනස් කළ යුතු බව ද ජනාධිපතිවරයා සඳහන් කළා. ඒ සඳහා පාසල්වලට තාක්ෂණික සහාය ලබාදෙමින් සිටින අතර, පාසල් 6,000කට අධික සංඛ්‍යාවකට අධිවේගී ෆයිබර් තාක්ෂණික සබඳතා ලබාදීමට කටයුතු කර ඇති බව ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියා.

ඔහු සඳහන් කළේ මත්ද්‍රව්‍ය සහ පාතාල ක්‍රියාකාරකම් අතීතයේ දේශපාලන රැකවරණ මත ව්‍යාප්ත වූ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, ඒවා මුලිනුපුටා දැමීම රජයේ අරමුණ බවයි.

පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ සිට ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුම්වලදී හෙරොයින් කිලෝග්‍රෑම් 2,484ක්, අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 3,301ක් සහ කොකේන් කිලෝග්‍රෑම් 297ක් පොලිස් භාරයට ගෙන ඇති බවද ජනාධිපතිවරයා පැවසුවා.

එමෙන්ම T-56 ගිනිඅවි 93ක්, පිස්තෝල 141ක් සහ රිවෝල්වර 105ක් ද පොලිස් භාරයට ගෙන ඇති බවයි ඔහු සඳහන් කළේ.

මහජන දේපළ සොරකම් කළ සහ වංචා දූෂණවලට සම්බන්ධ සියලුදෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර අධිකරණයට ඉදිරිපත් කරන බව ද ජනාධිපතිවරයා පැවසුවා.

ජාතික ජන බලවේග රජය කිසිදු කුමන්ත්‍රණයකට ගොදුරු නොවන බවත්, ජාතිවාදයට සහ ආගම්වාදයට ඉඩ නොතබා ජාතික සමගිය හා ආගමික සංහිඳියාව සහිත රටක් ගොඩනඟන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk