2026-10-16 08:54 Hours

ඥානසාර හිමිට නිදහස ඉල්ලා භික්ෂූන් තවදුරටත් ජනාධිපති කාර්යාලය ඉදිරිපිට


...

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන ලෙස ඉල්ලා ආරම්භ කළ ‘සිවුරට යුක්තිය – නිදහසේ පා ගමනට’ එක්වූ භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිස අද (16) උදෑසන වනවිටත් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට රැඳී සිටිනවා.

ඊයේ (15) පස්වරුවේ එම ස්ථානයට පැමිණි මහා සංඝරත්නය අවධාරණය කළේ ඥානසාර හිමියන්ට නිදහස ලබාදීම සම්බන්ධයෙන් රජය නිශ්චිත පිළිතුරක් ලබාදිය යුතු බවයි.

මේ අවස්ථාවේදී ඒ සම්බන්ධයෙන් නිශ්චිත පිළිතුරක් ලබාදිය නොහැකි බව එහිදී භික්ෂූන් වහන්සේලා සමඟ සාකච්ඡා කළ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා පැවසුවා.

පසුව එම ස්ථානයට පැමිණි ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා කියා සිටියේ අදාළ ඉල්ලීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් කළ බවයි.

ඒ අනුව, ව්‍යවස්ථානුකූල නීතිමය ක්‍රියාවලිය යටතේ කටයුතු කිරීමට ජනාධිපතිවරයා එකඟතාව පළ කර ඇති බව ද ඔහු සඳහන් කළා.

කෙසේ වෙතත්, එම ක්‍රියාවලිය සඳහා ගතවන කාලය පිළිබඳ නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බව දැනුම් දීමත් සමඟ, සිය ඉල්ලීමට විසඳුමක් ලැබෙන තෙක් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට තවදුරටත් රැඳී සිටීමට භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිස තීරණය කර තිබෙනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk