2026-10-18 20:28:00 Hours

චීන සමාගමක් ශ්‍රී ලංකාවේ ආයෝජනයක් අත්හැර දමයි


...

කොළඹ වරායේ ක්‍රියාත්මක කිරීමට යෝජිත ඇමරිකානු ඩොලර් මිලියන 392ක සැපයුම් දාම මධ්‍යස්ථාන ව්‍යාපෘතියෙන් චීනයේ ‘චයිනා මර්චන්ට්ස් පෝට් හෝල්ඩින්ග්ස්’ සමාගම ඉවත් වී තිබෙනවා.

ඒ අනුව, ව්‍යාපෘතිය අවසන් කිරීම වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 21.9ක මුදලක් ගෙවීමට ශ්‍රී ලංකා වරාය අධිකාරිය එකඟ වී ඇති බවයි වාර්තා වන්නේ.

‘දකුණු ආසියානු වාණිජ සහ සැපයුම් දාම මධ්‍යස්ථානය’ ලෙස නම් කර තිබූ මෙම ව්‍යාපෘතිය අවසන් කිරීම සම්බන්ධයෙන් චීන සමාගම පසුගිය 15 වැනිදා හොංකොං කොටස් වෙළෙඳපොළ වෙත ඉදිරිපත් කළ වාර්තාවකින් මේ බව තහවුරු කර තිබෙනවා.

වසර 50ක කාලයක් සඳහා ඉදිකර, මෙහෙයවා පසුව පවරාදීමේ පදනම මත ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ මෙම ව්‍යාපෘතිය දකුණු ආසියාවේ විශාලතම සැපයුම් දාම මධ්‍යස්ථාන අතරට එක් කිරීමට නියමිතව තිබුණා.

කෙසේ වෙතත්, බාහිර තත්ත්වයන්හි වෙනස්වීම්, ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ පරිසරයේ සහ කාලසටහනේ සිදුවූ වෙනස්කම් මෙන්ම වාණිජමය කරුණු සැලකිල්ලට ගනිමින් එය අත්හැර දැමීමට තීරණය කළ බවයි අදාළ වාර්තාවේ දැක්වෙන්නේ.

මෙම ව්‍යාපෘතියේ කොටස්වලින් සියයට 70ක් චීන සමාගමට අනුබද්ධ ‘ෆෝචූන් සෙන්ටර් ගෲප් ලිමිටඩ්’ සමාගම සතු වූ අතර, ශ්‍රී ලංකා වරාය අධිකාරියට සහ ‘ඇක්සස් ඉංජිනේරින් පීඑල්සී’ සමාගමට සියයට 15 බැගින් කොටස් හිමිව තිබුණා.

ව්‍යාපෘතිය සඳහා මෙම පාර්ශ්ව තුන එක්ව ඇමරිකානු ඩොලර් මිලියන 37.14ක් ආයෝජනය කර තිබූ අතර, ඉන් ඩොලර් මිලියන 26ක් චීන සමාගමේ අනුබද්ධ ආයතනය විසින් ලබාදී තිබෙනවා.

ගිවිසුමට අනුව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය දින 30ක් ඇතුළත ඇමරිකානු ඩොලර් මිලියන 21.905ක මුදලක් ව්‍යාපෘති සමාගමට ගෙවීමට නියමිතයි. අදාළ අඩුකිරීම් සහ වියදම් පියවීමෙන් පසු ඉතිරි වන මුදල් ද කොටස් හිමිකාරිත්වයේ ප්‍රතිශත අනුව බෙදාහැරීමට නියමිතව තිබෙනවා.

මහල් පහකින් සමන්විතව ඉදිකිරීමට යෝජනා කර තිබූ මෙම ව්‍යාපෘතියට 2023 දෙසැම්බර් මාසයේදී උපායමාර්ගික සංවර්ධන ව්‍යාපෘති තත්ත්වය ලබාදී තිබුණා. ඒ යටතේ වසර 15ක ආයතනික ආදායම් බදු සහ ලාභාංශ බදු නිදහස ඇතුළු බදු සහන ද හිමිව තිබූ බව සඳහන්.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk