2026-09-05 20:47:00 Hours
ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ගෝලීය වෙළෙඳපොළ වෙත යොමු කරමින් සියයට 25ක අපනයන වර්ධනයක් ඉලක්ක කරගත් වැඩපිළිවෙළක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය (FCCISL) සහ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය අතර සාකච්ඡා ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව, FCCISL සහ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා අතර විශේෂ ප්‍රතිපත්තිමය සාකච්ඡාවක් පසුගිය 3 වනදා නාරාහේන්පිට පිහිටි අමාත්‍යාංශ මූලස්ථානයේදී පැවැත්වුණා.
මෙහිදී ප්‍රාදේශීය ව්‍යවසාය වර්ධනය වේගවත් කිරීම සහ රජයේ නව ජාතික සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්ව උපායමාර්ගික රාමුව සමඟ පෞද්ගලික අංශය ඒකාබද්ධ කිරීම සඳහා ඒකාබද්ධ මාර්ග සිතියමක් ස්ථාපිත කර තිබෙනවා.
FCCISL සභාපති ආචාර්ය එම්. රෝහිත සිල්වා මහතාගේ නායකත්වයෙන් යුත් නියෝජිත පිරිස විසින් දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක සහ පළාත් ආවරණය වන පරිදි ව්‍යාපාර 1,000ත් 5,000ත් අතර ප්‍රමාණයක් හඳුනාගෙන ඒවා අභිප්‍රේරණය සහ සංවර්ධනය කිරීමේ වැඩසටහනක් ද මෙහිදී ඉදිරිපත් කර තිබෙනවා.
මෙම වැඩසටහන අමාත්‍යාංශය සහ ඊට අනුබද්ධ රාජ්‍ය ආයතන සමඟ සෘජු සහයෝගයෙන් ක්‍රියාත්මක කිරීමට නියමිත බව සඳහන්.
ඉපැයීම්, අපනයන, රැකියා උත්පාදනය, තරඟකාරිත්වය සහ තිරසරභාවය ඉහළ නැංවීම මෙහි ප්‍රධාන අරමුණු වන අතර, ආයතනික ශක්තිමත් කිරීම, හැකියාවන් වර්ධනය කිරීම සහ ව්‍යාපාර වර්ධනයට පහසුකම් සැලසීම කෙරෙහි ද අවධානය යොමු කර තිබෙනවා.
කෘෂිකර්මාන්තය සහ ආහාර සුරක්ෂිතතාව, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, ප්‍රවාහන හා සැපයුම්, පරිසර හිතකාමී නිෂ්පාදන, මුහුදු ආහාර මෙන්ම අගය එකතු කළ පොල් සහ රබර් නිෂ්පාදන ඉලක්කගත ක්ෂේත්‍ර අතරට ඇතුළත්.
මේ අතර, ශ්‍රී ලාංකික සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට ජාත්‍යන්තර සැපයුම් ජාලයන් වෙත ප්‍රවේශය ලබාදීම සඳහා FCCISL විසින් "SMEs Go Global" වැඩසටහන ද හඳුන්වා දී තිබෙනවා.
SAARC වාණිජ හා කර්මාන්ත මණ්ඩලය, ආසියා-පැසිෆික් වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය, APTA CCI, යුරෝපා සංගමය සහ ගල්ෆ් සහයෝගිතා කවුන්සිලය ඇතුළු ජාත්‍යන්තර ආයතන සමඟ පවතින සබඳතා ඒ සඳහා යොදා ගැනීමට නියමිතයි.
එමෙන්ම, ඉන්දියාව, නවසීලන්තය සහ සෞදි අරාබිය ඇතුළු රටවල පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර වෙළෙඳ හා ආයෝජන වැඩසටහන් සඳහා සහභාගී වන ලෙස නියෝජ්‍ය අමාත්‍යවරයාට ආරාධනා කර තිබෙනවා.
ප්‍රධාන ක්ෂේත්‍ර සඳහා විශේෂිත රජයේ අරමුදල් යාන්ත්‍රණ හඳුන්වාදීම පිළිබඳව ද සාකච්ඡා කර ඇති අතර, ඉදිකිරීම් ක්ෂේත්‍රය සඳහා ඉදිකිරීම් ඇපකර අරමුදල ක්‍රියාත්මක කිරීම මෙන්ම ICT ව්‍යවසායන් සහ නවක ව්‍යාපාර සඳහා විශේෂ මූල්‍ය පහසුකම් හඳුන්වාදීම කෙරෙහි ද අවධානය යොමු වී තිබෙනවා.
FCCISL සභාපති ආචාර්ය එම්. රෝහිත සිල්වා මහතා සඳහන් කර ඇත්තේ ජාතික කාර්මික ප්‍රතිපත්තිය සහ බිම් මට්ටමේ ව්‍යවසාය සංවර්ධනය අතර පරතරය පියවීම සඳහා මෙම හවුල්කාරිත්වය තීරණාත්මක පියවරක් බවයි.
මේ අතර, රජයේ ප්‍රතිපත්ති සමඟ ඒකාබද්ධ වූ පෞද්ගලික අංශයේ තිරසර වර්ධනයට සහාය වන තුන් අවුරුදු මාර්ග සිතියමක් FCCISL විසින් නුදුරේදීම දියත් කිරීමට නියමිත බව ද සඳහන්.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk