2026-10-21 19:05:00 Hours

අලුත් PSTA පනත් කෙටුම්පතට නීතිඥ සංගමයේ විරෝධය


...

රජය විසින් ගැසට් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ‘රාජ්‍යය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත’ සහ ‘සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත’ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය දැඩි කනස්සල්ල සහ විරෝධය පළ කර තිබෙනවා.

එම සංගමයේ සභාපති රජීව් අමරසූරිය සහ ලේකම් නලින් ද සිල්වා යන මහත්වරුන්ගේ අත්සනින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, අදාළ පනත් කෙටුම්පත් මගින් විධායකයට පුළුල් බලතල හිමිවන අතර, පුද්ගල නිදහස ආරක්ෂා කිරීම සඳහා අධිකරණයට ඇති අධීක්ෂණ බලය ද සීමා වන බවයි.

මීට පෙර සාකච්ඡා මාර්ගයෙන් එකඟ වූ කරුණු වෙනස් කරමින් අවසන් කෙටුම්පත සකස් කර ඇති බවද ඔවුන් එම නිවේදනයෙන් පෙන්වා දෙනවා.

එමගින් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයාට ඇති අභිමතය සීමා කිරීම, ඇප ලබා ගැනීම දැඩි කොන්දේසිවලට යටත් කිරීම සහ මුල් මාස දෙකෙන් පසු රඳවා තබා ගැනීම දීර්ඝ කිරීමේදී මහේස්ත්‍රාත් අනුමැතිය ලබාගැනීමේ අවශ්‍යතාව ඉවත් කිරීම පිළිබඳව ද සංගමය සිය විරෝධය පළ කර තිබෙනවා.

මෙමගින් අදහස් ප්‍රකාශ කිරීමේ, රැස්වීමේ, සමාගමයේ සහ යාම් ඊම්වල නිදහසට මෙන්ම වධහිංසාවලින් ආරක්ෂා වීමට ඇති අයිතියට ද තර්ජනයක් එල්ල විය හැකි බවයි නීතිඥ සංගමය පෙන්වා දෙන්නේ. ඒ සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 වගන්තිය යටතේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ද ගොනු කර ඇත.

මේ අතර, සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ද නීතිඥ සංගමය විරෝධය පළ කර ඇති අතර, මහජන උපදේශනයකින් තොරව එය හඳුන්වා දී ඇති බවට චෝදනා කරනවා.

බුද්ධිමය දේපළ හා කර්තෘ හිමිකම් උල්ලංඝනය කිරීම්, සුරාබදු සහ වන සංරක්ෂණ වැරදි වැනි සාමාන්‍ය වැරදි ද සංවිධානාත්මක අපරාධ ලෙස වර්ගීකරණය වීමේ අවදානමක් පවතින බව එම සංගමය සඳහන් කරනවා.

එමෙන්ම, අමාත්‍යාංශ ලේකම්වරයාගේ නියෝග මත වසරක් දක්වා පුද්ගලයන් රඳවා තබා ගැනීමට හැකිවීම, පොලිස් අත්අඩංගුවේදී ලබාගන්නා පාපෝච්චාරණ සාක්ෂි ලෙස පිළිගැනීමට ඉඩ සැලසීම සහ සාමකාමී විරෝධතා ඇතුළු සිවිල් ක්‍රියාකාරකම්වලට බලපෑම් එල්ල වීමේ අවදානම ද නීතිඥ සංගමය අවධාරණය කර තිබෙනවා.

ඒ අනුව, ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ඉවත් කර ගැනීම හෝ සුදුසු සංශෝධන සිදුකිරීම, එහි කාරක සභා වාර්තාව සහ වෙනස්කම්වලට හේතු ප්‍රසිද්ධ කිරීම සහ සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත සම්පූර්ණයෙන් ඉවත් කර ගැනීම නීතිඥ සංගමයේ ඉල්ලීම් අතර වනවා.

එමෙන්ම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රමාදයකින් තොරව අහෝසි කරන ලෙස ද සංගමය ඉල්ලා සිටිනවා.

නීතියේ ආධිපත්‍යය, මූලික අයිතිවාසිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් සුරක්ෂිත කිරීම වෙනුවෙන් අඛණ්ඩව පෙනී සිටින බවයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk