2026-10-21 13:42:00 Hours
නොරොච්චෝලේ ලක්විජය ගල්අඟුරු බලාගාරයේ විදුලි උත්පාදන කටයුතු හෙට (22) යළි ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව ජාතික පද්ධති මෙහෙයුම්කාර සමාගම පවසනවා.
එහි සභාපති බී.එල්. ප්රදීප් ප්රියදර්ශන පෙරේරා මහතා ඩේලි මිරර් පුවත්පතට සඳහන් කර ඇත්තේ, බලාගාරය අක්රිය වීම හේතුවෙන් මෙගාවොට් 250ක විදුලි හිඟයක් ඇති වූ බවයි.
එය විදුලි කප්පාදුවක් සැලසුම් කිරීමට ද හේතු වී තිබෙනවා.
රාත්රී කාලයේ විදුලි ඉල්ලුම සපුරාලීම සඳහා මෙගාවොට් 2,800ක පමණ විදුලි ධාරිතාවක් අවශ්ය වුවත්, සඳුදා රාත්රියේ සැපයීමට හැකි වී ඇත්තේ මෙගාවොට් 2,570ක පමණ ප්රමාණයක් බව ද ඔහු පවසනවා.
මේ අතර, රට පුරා සිදුවන විදුලි බිඳවැටීමක් හේතුවෙන් නොරොච්චෝලේ බලාගාරය ද අක්රිය විය හැකි බව වාර්තා වනවා. ඊට හේතුව බලාගාරයේ විදුලි උත්පාදනයට අමතරව, එහි අභ්යන්තර උපකරණ සහ සහායක පද්ධති ක්රියාත්මක කිරීමට ද අඛණ්ඩ විදුලි සැපයුමක් අවශ්ය වීමයි.
ගල්අඟුරු බොයිලේරු වෙත ගෙන යන පද්ධති, දහනය පවත්වා ගැනීමට භාවිත කරන පංකා සහ පොම්ප, සිසිලන ජල පද්ධති මෙන්ම බලාගාරයේ ක්රියාකාරීත්වය පාලනය කරන උපකරණ ද ඒ අතරට අයත් වනවා.
ප්රධාන විදුලි පද්ධතියේ ඇතිවන බාධාවක් හේතුවෙන් බලාගාරයේ ජනක යන්ත්ර ජාතික විදුලි පද්ධතියෙන් විසන්ධි වුවහොත්, එහි සහායක පද්ධති සඳහා අවශ්ය විදුලිය අඛණ්ඩව සැපයීම හෝ කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීම අත්යවශ්යයි.
එම සැපයුම අඩාල වුවහොත්, උපකරණවලට හානි සිදුවීම වැළැක්වීම සඳහා ඇති ආරක්ෂක පද්ධති මගින් ජනක යන්ත්ර ස්වයංක්රීයව අක්රිය කිරීමට පියවර ගන්නා බව ද සඳහන්.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk