2026-10-21 19:23:00 Hours

ඩො.මි 280ක ව්‍යාපෘතියට රජය විරුද්ධ වූ හේතුව ඇමති බිමල් හෙළි කරයි


...

කොළඹ වරායේ ඇමෙරිකානු ඩොලර් මිලියන 280ක සැපයුම් පද්ධති ව්‍යාපෘතියට රජය විරුද්ධ වීමට බලපෑ ප්‍රධාන හේතුවක් වූයේ, වරාය භූමියෙන් අක්කර 10ක් වෙන් කිරීම සම්බන්ධයෙන් පැවති ගිවිසුමේ ගැටලුකාරී තත්ත්වය බව අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා.

පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, කොළඹ වරායේ නැගෙනහිර සහ බටහිර බහාලුම් පර්යන්ත අතර පිහිටි අක්කර 10ක ඉඩම් ප්‍රමාණයක් අදාළ චීන සමාගමට වෙන් කිරීමට එම ගිවිසුමෙන් යෝජනා කර තිබූ බවයි.

යෝජිත ආයෝජනයට රජයේ සහාය හිමි වුවද, අදාළ ගිවිසුමට එළඹ තිබූ ආකාරය සම්බන්ධයෙන් ගැටලු සහ සැකසංකා පැවති බව ද ඔහු සඳහන් කළා.

කෙසේ වෙතත්, තමන් අමාත්‍ය ධුරයේ වගකීම් භාරගැනීමෙන් පසු අදාළ සමාගමේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙරටට ගෙන්වා සාකච්ඡා පැවැත්වීමට ඇතුළු ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාම සඳහා පෞද්ගලිකව මැදිහත් වූ බවයි අමාත්‍යවරයා පැවසුවේ.

ඔහු සඳහන් කරන්නේ නිසි ක්‍රමවේද අනුගමනය කර නොතිබීම හේතුවෙන් පැවති ගිවිසුම යටතේ ඉදිරියට යාමට නොහැකි වූ නමුත්, ආයෝජනයට රජයේ සහාය ඇති බව සමාගමේ නිලධාරීන්ට පැහැදිලි කළ බවයි.

මේ අතර, රජයේ ක්‍රියාකලාපය හේතුවෙන් ආයෝජකයන් රටින් ඉවත්වන බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කළ බිමල් රත්නායක මහතා පෙන්වා දුන්නේ, සැකසංකා සහිත ගිවිසුම් යටතේ ආයෝජන ඉදිරියට ගෙන යාමෙන් අනාගත ආයෝජකයන්ගේ විශ්වාසය ද අඩු විය හැකි බවයි.

කොළඹ වරායේ යෝජිත ඩොලර් මිලියන 280ක සැපයුම් පද්ධති ව්‍යාපෘතිය ඉදිරියට නොයන බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය තහවුරු කිරීමෙන් අනතුරුව අමාත්‍යවරයා මෙම අදහස් පළ කර තිබෙනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk