2026-11-17 09:36:00 Hours

ක්‍රිප්ටෝ මුදල් නියාමනයට රජයේ මූලික අනුමැතිය


...

ක්‍රිප්ටෝ මුදල් (Cryptocurrency) සහ අනෙකුත් ඩිජිටල් වත්කම් විධිමත් නියාමනයකට යටත් කිරීම සඳහා ශ්‍රී ලංකා රජය මූලික අනුමැතිය ලබාදී තිබෙනවා.

ඒ අනුව, මෙම ක්ෂේත්‍රය සඳහා විශේෂ නීතිමය රාමුවක් සහ වෙනම නියාමන අධිකාරියක් පිහිටුවීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඩිජිටල් ආර්ථිකය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කර ඇත්තේ මෙම වැඩපිළිවෙළ මේ වන විට ප්‍රතිපත්තිමය අදියර පසුකර ඇති බවයි.

විවිධ පාර්ශ්වයන්ගේ අදහස් සහ උපදෙස් ලබාගනිමින් සකස් කළ යෝජිත නීති කෙටුම්පතේ පළමු පිටපත මේ වන විට නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව වෙත යොමු කර තිබෙනවා.

ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව මෙරට මූල්‍ය සහ ඩිජිටල් යටිතල පහසුකම් ආරක්ෂා වන පරිදි නියාමන පද්ධතියක් ගොඩනැගීම මෙහි අරමුණ බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

මෙම නියාමන ක්‍රියාවලිය හරහා මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මූල්‍ය ආධාර සැපයීම වැළැක්වීමට අදාළ අවශ්‍යතා සපුරාලීමටත්, ඩිජිටල් වත්කම් භාවිතය සම්බන්ධයෙන් ආරක්ෂිත ක්‍රමවේද හඳුන්වාදීමටත් අපේක්ෂා කෙරෙනවා.

මෙහිදී අතථ්‍ය වත්කම් (Virtual Assets) මුලින්ම හඳුනාගනු ලබන්නේ ගෙවීම් මාධ්‍යයක් ලෙස නොව, වත්කම් වර්ගයක් ලෙස පමණක් බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.

ඒ අනුව, නියාමනයේ පළමු අදියර යටතේ ක්‍රිප්ටෝ මුදල් ආයෝජන වත්කම් ලෙස පමණක් සැලකෙන අතර, මෙරට එදිනෙදා ගනුදෙනු සහ ගෙවීම් සඳහා ඒවා භාවිත කිරීමට අවසර හිමි නොවනු ඇති.

එමෙන්ම, අතථ්‍ය වත්කම් සම්බන්ධ සේවා සපයන්නන් ද නියාමනයට සහ අධීක්ෂණයට යටත් කිරීමට නියමිතයි.

ගනුදෙනුවල විනිවිදභාවය සහ ඒවා සොයාගැනීමේ හැකියාව ඉහළ නැංවීම සඳහා ජාත්‍යන්තරව පිළිගත් 'Travel Rule' ඇතුළු ක්‍රමවේද ක්‍රියාත්මක කිරීමටද සැලසුම් කර තිබෙනවා.

යෝජිත නියාමන අධිකාරිය 2027 වසරේ තුන්වන කාර්තුව වන විට පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීමට රජය අපේක්ෂා කරන බවද වාර්තා වනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk