2026-10-19 21:26:00 Hours

අතුරුගිරියේ මෙට්‍රෝ ඉඩම් ආරවුලට අදාළ නඩුව ලබන 2 වනදා දක්වා කල් යයි


...

මෙට්‍රෝ බස් නැවතුම්පොළක් ඉදිකිරීම සඳහා බව පවසමින් අතුරුගිරිය ප්‍රදේශයේ පෞද්ගලික නිවාස සංකීර්ණයක් ආසන්නයේ පිහිටි පර්චස් 100ක ඉඩමක් බලහත්කාරයෙන් අත්පත් කරගත් බවට චෝදනා කරමින් ගොනුකර ඇති නඩුව නොවැම්බර් 2 වැනිදා දක්වා කල් තැබීමට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය අද (19) නියෝග කළා.

ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ, කඩුවෙල මහ නගර සභාවේ නගරාධිපති රංජන් ජයලාල් සහ මෙට්‍රෝ ට්‍රාන්සිට් පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව නිකුත් කර තිබූ නොතීසිවලට අදාළ නඩුව මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා ඉදිරියේ විභාගයට ගැනුණා.

එහිදී මෙට්‍රෝ ට්‍රාන්සිට් පෞද්ගලික සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට දැනුම් දුන්නේ, අදාළ ඉඩම කඩුවෙල මහ නගර සභාව විසින් සමාගමට නිර්දේශ කළ ඉඩමක් බැවින් එහි හිමිකාරිත්වය පිළිබඳව සොයා නොබැලූ බවයි.

එහි වගකීම මහ නගර සභාව සතු බව පෙන්වා දෙමින් සමාගම නඩුවෙන් මුදාහරින ලෙසද ඔහු ඉල්ලා සිටියා. එමෙන්ම, සමාගමට අයත් මෙට්‍රෝ බස් රථ අදාළ ඉඩමේ නවතා තැබීමක් සිදු නොකරන බවද අධිකරණයට දැනුම් දී තිබෙනවා.

එම ඉල්ලීමට විරෝධයක් නොමැති බව පැමිණිලි පාර්ශ්වය සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් දිවුරුම් ප්‍රකාශ ලබාගැනීමෙන් අනතුරුව සමාගම නඩුවෙන් ඉවත් කිරීමට එකඟ බව පවසමින්.

මේ අතර, නඩුව සමථයකට පත්කර ගැනීමට දෙපාර්ශ්වය කැමැත්තක් දක්වන්නේදැයි මහේස්ත්‍රාත්වරයා විමසා තිබෙනවා.

එහිදී මන්ත්‍රී අසිත නිරෝෂණ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් සඳහන් කළේ, පැමිණිලි පාර්ශ්වය ඉදිරිපත් කර ඇති චෝදනා සම්බන්ධයෙන් අධ්‍යයනය කර ඇති අතර, තවදුරටත් කරුණු සලකා බැලීමෙන් පසු තීරණයක් දැනුම් දිය හැකි බවයි.

ඒ අනුව, අදාළ ලිපිගොනු විවෘත අධිකරණයේදීම විත්තිකාර පාර්ශ්වය වෙත ලබාදීමට පැමිණිලි පාර්ශ්වය කටයුතු කළා.

නඩුව සම්බන්ධයෙන් ඉදිරි තීරණය දැනුම් දීම සඳහා එය නොවැම්බර් 2 වැනිදා යළි කැඳවීමට නියමිතයි.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk