2026-09-28 10:47:00 Hours
වත්මන් රජයේ වැඩපිළිවෙළ යටතේ ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් වෘත්තීයමය පොලිස් සේවාවක් සහ වෘත්තීයමය පොලිස් නිලධාරියෙකු බිහිකිරීමට හැකි වී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා.
85 වන පොලිස් මලල ක්‍රීඩා උළෙලට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
පොලිස් සේවයේ ගුණාත්මක සංවර්ධනයට ගැළපෙන පරිදි පොලිස් නිල ඇඳුම නව මුහුණුවරකින් හඳුන්වාදීමට ද සැලසුම් සකස් කරමින් පවතින බවයි ඔහු කියා සිටියේ.
එමෙන්ම, ලබන වසර තුළ පොලිස් සේවයට තවත් නිලධාරීන් 10,000ක් බඳවා ගැනීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා සඳහන් කළා.
පසුගිය වසර පහක කාලය තුළ ලබාදීමට නොහැකි වූ උසස්වීම්, ජ්‍යෙෂ්ඨත්වය, කාර්ය සාධනය සහ කාර්යක්ෂමතා කඩඉම් විභාග ක්‍රමවේදය යටතේ මේ වසර තුළ ලබාදීමට කටයුතු කරන බවද ඔහු පැවසුවා.
පහළ නිලයේ සිට ඉහළ නිලය දක්වා සියලු පොලිස් නිලධාරීන්ට තරාතිරමකින් තොරව විදේශ පුහුණු අවස්ථා ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.
මේ අතර, පොලිස් නිලධාරීන්ගේ රාජකාරි කැපවීම වෙනුවෙන් 2027 අයවැය හරහා විශේෂ අවදානම් දීමනාවක් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බවද ඔහු පැවසුවා.
ඉදිරියේදී පොලිස් සේවයට විද්‍යුත් යතුරුපැදි සහ අවශ්‍ය යටිතල පහසුකම් ලබාදීමටද කටයුතු කරන බව අමාත්‍ය ආනන්ද විජේපාල මහතා වැඩිදුරටත් සඳහන් කළා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා,
"අපි වසර දෙකක කාලයක් පුරාවටම මෙම පොලිස් සේවාව වඩා ඉහළින් ඔසවා තැබීමටත්, වෘත්තීමය පොලිස් සේවාවක් බවට වෘත්තීමය පොලිස් නිලධාරියෙක් නිර්මාණය කරගැනීම වෙනුවෙන් විශේෂ මැදිහත්වීමක් කිරීමටත් ගරු ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ අපිට හැකියාව ලැබිලා තියෙනවා.
ඒ නිසාම අපිට හැකියාව ලැබෙනවා පොලිස් සේවාවට 10,000ක් එකතු කරගැනීමට. ඒ වෙනුවෙන් ලබන වසර තුළ ඒ 10,000 සම්පූර්ණ කරනවා. ඒ වගේම වසර පහක කාලයක් උසස්වීම් අහිමි වෙලා තිබුණා. ඒ සියලු උසස්වීම් මේ වසර තුළ ජ්‍යෙෂ්ඨතා පදනම යටතේත්, කාර්ය සාධන පදනම යටතේත්, කාර්යක්ෂමතා කඩඉම් යටතේත්, නැත්නම් විභාග ක්‍රමය යටතේත් සම්පූර්ණ කිරීමටත්, එතැන් සිට සෑම වර්ෂයක් පාසාම විධිමත් පරිදි උසස්වීම් ක්‍රමවේදයක් කරා නියමිත කාලවකවානු තුළ උසස්වීම් ලබාදීමටත් අවශ්‍ය සියලු පියවර මේ වෙනකොට අරන් තියෙනවා.
විධිමත් ස්ථාන මාරු ක්‍රමයක් මේ වෙනකොට සකස් කරමින් තියෙනවා. ඉදිරියේදී එවැනි ස්ථාන මාරුවීම් ක්‍රමයක් හරහා නිවසට ආසන්න ප්‍රදේශවලට ස්ථාන මාරු ලබාගැනීමේ ක්‍රමවේදයකුත් සකස් කරමින් ඉන්නවා.
පසුගිය වසර දෙක පුරාවට 1,000කට ආසන්න ප්‍රමාණයකට විදේශ පුහුණුවීම් ලබා දීලා තියෙනවා. ඉදිරියෙත් මේවා ශක්තිමත් කරලා, තරාතිරම නොබලා මේකට පහළ නිලයේ සිට ඉහළ නිලය දක්වා සියලු දෙනාට විදේශ පුහුණුව ලබා දීම සඳහා ක්‍රමවේදයකුත් මේ වෙනකොට සකස් කරමින් තියෙනවා.
ඒ වගේම 2027 අයවැය ලේඛනය හරහා මේ විශේෂිත රාජකාරී කැපවීම වෙනුවෙන් අවදානම් දීමනාවක් ලබා දීමට මේ වෙනකොට අපි අමාත්‍ය මණ්ඩලය තීන්දු කරලා තියෙනවා.
ඒ වගේම ඉදිරි අනාගතයේදී විද්‍යුත් යතුරුපැදි ලබා දීම, ඒ වගේම අනෙකුත් යටිතල පහසුකම් ලබා දීමත්, පොලිස් සේවයේ ගුණාත්මක සංවර්ධනයට ගැලපෙන ආකාරයෙන් පොලිස් නිල ඇඳුම නව ආකාරයකින් නිර්මාණය කර ගැනීම සඳහාත් මේ වෙනකොට අවශ්‍ය සැලසුම් සකස් කරමින් පවතිනවා."
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk