2026-09-28 14:06:00 Hours
කතරගම - බුත්තල මාර්ගයේ රැඳී සිටින වනඅලින්ට ආහාර ලබාදෙන රථවාහන රියදුරන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.
වනඅලින්ට ආහාර ලබාදීම හේතුවෙන් ඔවුන් මාර්ගය ආශ්‍රිතව රැඳී සිටීමට හුරුවීම නිසා රථවාහනවලට වනඅලි පහරදීමේ සිද්ධීන් ඉහළ ගොස් ඇති බවයි වනජීවී නිලධාරීන් පෙන්වා දෙන්නේ.
මේ වනවිට කතරගම - බුත්තල මාර්ගයේ වනඅලි අටදෙනෙකු පමණ රථවාහන නවතා ආහාර ලබාගැනීමට හුරුවී සිටින බවද සඳහන්.
දිනකට රථවාහන 2,000කට අධික සංඛ්‍යාවක් ගමන් කරන මෙම මාර්ගය කතරගම වන්දනාකරුවන් මෙන්ම මොනරාගල, වැල්ලවාය සහ බණ්ඩාරවෙල ඇතුළු ප්‍රදේශවල ජනතාවද බහුලව භාවිත කරනවා.
වනඅලින්ට ආහාර ලබා නොදෙන අවස්ථාවලදී ඔවුන් රථවාහන වෙත පහරදීමට සහ වාහන පෙරළීමට උත්සාහ කළ අවස්ථාද වාර්තා වී ඇති බවයි වනජීවී නිලධාරීන් පවසන්නේ.
මෑතකදී වනඅලියෙකු බස් රථයකට පහරදීමෙන් එය පෙරළී පුද්ගලයින් 40 දෙනෙකු පමණ තුවාල ලැබූ බවද සඳහන්.
පසුගිය වසර හයක කාලය තුළ වනඅලි රථවාහනවලට පහරදීමෙන් කාන්තාවන් තිදෙනෙකු සහ පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වනජීවී නිලධාරීන් පවසනවා. එමෙන්ම වසරකට රථවාහන 100කට අධික සංඛ්‍යාවකට වනඅලි ප්‍රහාර හේතුවෙන් හානි සිදුවන බවද ඔවුන් සඳහන් කරනවා.
යාල ජාතික වනෝද්‍යානයේ අංක දෙක කලාපයට අයත් මෙම මාර්ගයේ ගමන් කිරීමට ජනතාවට අවසර තිබුණද, වාහනවලින් බැස වනසතුන්ට ආහාර ලබාදීම නීතිවිරෝධී ක්‍රියාවක් බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.
ඌව පළාත් වනජීවී සහකාර අධ්‍යක්ෂ ඩබ්ලිව්. ඒ. ඉන්ද්‍රජිත් මහතා සඳහන් කළේ, වනජීවී ආඥා පනත යටතේ වනසතුන්ට පීඩා වන අයුරින් කටයුතු කිරීමේ වරද යටතේ ආහාර ලබාදෙන රථවාහන වීඩියෝගත කර අදාළ පුද්ගලයින්ට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බවයි.
බස් රථ සහ සෆාරි ජීප් රථ රියදුරන් විසින් ආහාර ලබාදීම හේතුවෙන් වනඅලි එම ආහාරවලට හුරුවී ඇති බවද වනජීවී දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk