2026-10-10 18:20:00 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 77 වන සංවත්සරය අද (10) පනාගොඩ යුද්ධ හමුදා කඳවුරේදී උත්සවාකාරයෙන් සැමරුණා.
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්නගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයේදී, ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් වසර 77ක් පුරා යුද්ධ හමුදාව ඉටු කළ සේවය සහ කැපවීම සිහිපත් කෙරුණා.
උත්සවය ආරම්භ කරමින් යුද්ධ හමුදා සම්ප්‍රදායන්ට අනුව ප්‍රධාන ආරාධිත අමුත්තා වෙත සම්මාන මුරයක් පිරිනැමුණු අතර, යුද්ධ හමුදාධිපති විසින් යුද්ධ හමුදා ධජය එසවීමෙන් අනතුරුව උත්සවයේ කටයුතු නිල වශයෙන් ආරම්භ වුණා.
මාතෘභූමියේ ආරක්ෂාව වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන් සිහිපත් කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවක් ද පවත්වනු ලැබුවා.
මෙවර සංවත්සර පෙළපාළියට රෙජිමේන්තු 25ක් නියෝජනය කරමින් නිලධාරීන් 78 දෙනෙකු සහ සෙසු නිලයන් 652 දෙනෙකු එක්ව සිටියා. එමෙන්ම, පසුගිය වසර තුළ සුවිශේෂී සේවයක් ඉටු කළ යුද්ධ හමුදා සාමාජිකයන් හත්දෙනෙකුට යුද්ධ හමුදාධිපති ප්‍රශංසා ලාංඡන පිරිනැමීම ද සිදු කෙරුණා.
මෙහිදී ත්‍රිවිධ හමුදා ඉතිහාසයේ ප්‍රථම වරට යුද්ධ හමුදාවට වැඩිම සාමාජිකයන් පිරිසක් දායාද කළ පාසල් ඇගයීම ද විශේෂත්වයක්.
ඒ අනුව, සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයන්ගේ සංඛ්‍යාව පදනම් කරගනිමින් පිරිමි නිලධාරීන්, කාන්තා නිලධාරිනියන්, පිරිමි සෙබළුන් සහ කාන්තා සෙබළියන් යන කාණ්ඩ හතර යටතේ පාසල් ඇගයීමට ලක් කෙරුණා.
ඒ අනුව සම්මාන හිමි වූ පාසල් මෙසේයි.
පිරිමි නිලධාරීන්
පළමු ස්ථානය – කොළඹ ආනන්ද විද්‍යාලය
දෙවන ස්ථානය – මහනුවර ධර්මරාජ විද්‍යාලය
තෙවන ස්ථානය – මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලය
කාන්තා නිලධාරිනියන්
පළමු ස්ථානය – කොළඹ දේවි බාලිකා විද්‍යාලය
දෙවන ස්ථානය – කොළඹ විශාඛා විද්‍යාලය
තෙවන ස්ථානය – කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලය
පිරිමි සෙබළුන්
පළමු ස්ථානය – අනුරාධපුර කැබිතිගොල්ලෑව මධ්‍ය මහා විද්‍යාලය
දෙවන ස්ථානය – අනුරාධපුර නිවත්තක චේතිය ජාතික පාසල
තෙවන ස්ථානය – බදුල්ල මධ්‍ය මහා විද්‍යාලය
කාන්තා සෙබළියන්
පළමු ස්ථානය – කෑගල්ල කෑගලු බාලිකා විද්‍යාලය
දෙවන ස්ථානය – අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලය
තෙවන ස්ථානය – කොළඹ ආනන්ද බාලිකා විද්‍යාලය
උත්සව සභාව අමතමින් යුද්ධ හමුදාධිපතිවරයා සඳහන් කළේ, 77 වන සංවත්සරය අතීත ජයග්‍රහණ සැමරීමක් පමණක් නොව, යුද්ධ හමුදාවේ නවීකරණය සහ ජාතික සේවය වෙනුවෙන් නව කැපවීමක ආරම්භයක් ද වන බවයි.
අනාගත අභියෝගවලට මුහුණ දිය හැකි, තාක්ෂණයෙන් සන්නද්ධ සහ වෘත්තීයමය වශයෙන් දක්ෂ යුද්ධ හමුදාවක් ගොඩනැගීමේ වැදගත්කම ද ඔහු අවධාරණය කළා. එමෙන්ම, විනය, නායකත්වය සහ වෘත්තීයභාවය පිළිබඳ ඉහළ ප්‍රමිතීන් ආරක්ෂා කරමින් සේවය කරන ලෙස සියලු නිලයන්ගෙන් ඉල්ලා සිටියා.
මෙම අවස්ථාවට හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්, විශ්‍රාමික සහ සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සෙසු නිලයන්, සිවිල් සේවකයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk