2026-10-07 07:48:00 Hours

2027 අයවැය විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට


...

2027 වසරට අදාළ විසර්ජන පනත් කෙටුම්පත පළමුවර කියවීම අද (07) පාර්ලිමේන්තුවේදී සිදුකිරීමට නියමිතව තිබෙනවා.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව පසුගිය 25 වැනිදා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේදී ඒ සඳහා අනුමැතිය හිමිවුණා.

ඒ අනුව, නොවැම්බර් 12 වැනිදා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් අයවැය කථාව ඉදිරිපත් කිරීමට නියමිත අතර, එදින විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම සිදුකිරීමට නියමිතයි.

අනතුරුව නොවැම්බර් 13 වැනිදා සිට 20 වැනිදා දක්වා දින හතක් දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වෙන අතර, එහි ඡන්ද විමසීම නොවැම්බර් 20 වැනිදා පස්වරු 6.00ට පැවැත්වීමට නියමිතයි.

අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් 21 වැනිදා සිට දෙසැම්බර් 14 වැනිදා දක්වා දින 19ක් පැවැත්වෙනවා.

අයවැය තෙවැනිවර කියවීමේ අවසන් ඡන්ද විමසීම දෙසැම්බර් 14 වැනිදා පස්වරු 6.00ට පැවැත්වීමට නියමිත අතර, එමගින් 2027 අයවැය සම්බන්ධ පාර්ලිමේන්තු ක්‍රියාවලිය අවසන් වනවා.

අයවැය විවාද පැවැත්වෙන කාලසීමාව තුළ ඉරිදා සහ රජයේ නිවාඩු දින හැර සෙනසුරාදා දිනවලද පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි.

මේ අතර, දෙවැනිවර කියවීමේ විවාදය සඳහා ආණ්ඩු පක්ෂයට සියයට 60ක සහ විපක්ෂයට සියයට 40ක විවාද කාලයක් වෙන්කර තිබෙනවා.

කාරක සභා අවස්ථාවේදී ආණ්ඩු පක්ෂයට සියයට 40ක සහ විපක්ෂයට සියයට 60ක විවාද කාලයක් වෙන්කර ඇති බවද පාර්ලිමේන්තුව සඳහන් කළා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk