2026-10-10 15:10 Hours
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව සහ උන්වහන්සේ නිදහස් කරගැනීමේ අරමුණින් මහා සංඝරත්නය පෙරටු කරගත් පාගමනක් අද (10) මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයෙන් ආරම්භ වී තිබෙනවා.
පාගමන ආරම්භ කිරීමට පෙර මහනුවර මඟුල් මඩුවේදී විශේෂ ආශිර්වාද සත්‍යක්‍රියාවක් ද පවත්වා ඇති බව සඳහන්.
එහිදී අදහස් දැක්වූ පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් ප්‍රකාශ කළේ, වත්මන් රජය ඥානසාර හිමියන්ට එරෙහිව අත්තනෝමතික ලෙස ගෙන ඇති ක්‍රියාමාර්ග තරයේ හෙළා දකින බවයි.
වාරියපොළ ශ්‍රී සුමංගල හිමියන් අතීතයේ ජාතියේ සහ සම්බුද්ධ ශාසනයේ ආරක්ෂාව වෙනුවෙන් හඬ නැඟූ ආකාරයටම, ඥානසාර හිමියන් ද රට, ජාතිය සහ ශාසනයේ අභිවෘද්ධිය වෙනුවෙන් හඬ නැඟූ බව උන්වහන්සේ පෙන්වා දුන්නා.
ඥානසාර හිමියන් සිරගතව සිටින්නේ පෞද්ගලික කාරණයක් වෙනුවෙන් නොව සමස්ත ජාතිය සහ ශාසනය වෙනුවෙන් බව සඳහන් කළ උලපනේ සුමංගල හිමියන්, උන්වහන්සේ වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටීම සිව්වනක් පිරිසේම වගකීමක් බව ද අවධාරණය කළා.
ශ්‍රී දළදා සමිඳුන් අභියසින් සහ වාරියපොළ ශ්‍රී සුමංගල හිමියන්ගේ ප්‍රතිමාව අසලින් ආරම්භ වූ මෙම පාගමන, ඥානසාර හිමියන් රඳවා සිටින ස්ථානය දක්වා ගමන් කිරීමට නියමිතයි.
ඥානසාර හිමියන්ට නිදහස ලැබෙන තෙක් මෙම ක්‍රියාමාර්ගය අත් නොහරින බව පැවසූ උලපනේ සුමංගල හිමියන්, පවතින තත්ත්වය හමුවේ අහිංසාවාදීව පාගමනට එක්වන ලෙස ජනතාවගෙන් ද ඉල්ලා සිටියා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk