2026-10-09 21:10:00 Hours

ඥානසාර හිමිගේ චීවරය ඉවත් කිරීම වළක්වන ලෙස ඉල්ලා රිට් පෙත්සමක්


...

සිර දඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර බලධාරීන් ගෙන ඇති තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

පූජ්‍ය තීනියාවල පාලිත හිමියන් විසින් මෙම පෙත්සම ගොනු කර ඇති අතර, බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා, අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි ඇතුළු පිරිසක් එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි ව්‍යවස්ථාවට අනුව බුද්ධාගම සුරක්ෂිත කොට පෝෂණය කිරීමේ වගකීම රජයට පැවරී ඇති බවයි පෙත්සම්කාර හිමියන් පෙන්වා දෙන්නේ.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට සිර දඬුවම් නියම වීමෙන් පසු ඥානසාර හිමියන් අධිකරණයට ඉදිරිපත් කිරීමේදී චීවරය ඉවත් කර සිවිල් ඇඳුමින් ඉදිරිපත් කිරීමට බන්ධනාගාර බලධාරීන් කටයුතු කර ඇති බව ද පෙත්සමේ සඳහන්.

එම තීරණය බන්ධනාගාර රෙගුලාසිවලට මෙන්ම බෞද්ධ විනය නීතිවලට ද පටහැනි බවට පෙත්සම්කාර හිමියන් කරුණු දක්වා තිබෙනවා.

ඒ අනුව, ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට ගෙන ඇති තීරණය බල රහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත්, එවැනි ක්‍රියාවකට බල කෙරෙන බන්ධනාගාර රෙගුලාසියක් හෝ චක්‍රලේඛයක් ඇත්නම් එය ද බල රහිත කරන ලෙසත් පෙත්සමෙන් ඉල්ලා ඇති බව සඳහන්.

එමෙන්ම, ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ද පෙත්සම්කාර හිමියන් අධිකරණයෙන් ඉල්ලා සිටිනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk