2026-10-10 16:16 Hours

මෙට්‍රෝ බස් රථයක් අනතුරකට ලක් කළ බස්රථ රියදුරෙකු අත්අඩංගුවට


...

කැස්බෑව - කොළඹ මාර්ගයේ මිරිස්වත්ත ප්‍රදේශයේදී මෙට්‍රෝ බස් රථයකට හිතාමතා අනතුරක් සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සුඛෝභෝගී බස් රථ රියදුරෙකු පිළියන්දල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගෙන ඇත්තේ මාර්ග අංක 120 යටතේ හොරණ සිට කොළඹ දක්වා ධාවනය වන බස් රථයක රියදුරෙක්.

පොලිසිය සඳහන් කළේ, කහතුඩුව සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ මෙට්‍රෝ බස් රථය පසුපසින් පැමිණි සැකකාර රියදුරු, කැස්බෑව හන්දියේ සිටම ප්‍රධාන ලාම්පු දල්වමින්, නලාව ශබ්ද කරමින් සහ අනාරක්ෂිත ලෙස ඉස්සර කරමින් ධාවනය කර ඇති බවයි.

පසුව මිරිස්වත්ත ප්‍රදේශයේදී මෙට්‍රෝ බස් රථයට ඉස්සර කළ සුඛෝපභෝගී බස් රථයේ පිටුපස කොටස, මෙට්‍රෝ බස් රථයේ ඉදිරිපස දකුණු පස ගැටෙන ආකාරයෙන් අනතුර සිදුව ඇති බව පොලිසිය පවසනවා.

අනතුරින් මෙට්‍රෝ බස් රථයේ දකුණු පස කණ්ණාඩිය සහ ඊට පහළින් පිහිටි වීදුරුවට හානි සිදුව ඇති අතර, අලාභය රුපියල් තුන්ලක්ෂ හතළිස් දෙදහසක් ලෙස තක්සේරු කර තිබෙනවා.

අනතුර සිදුවන ආකාරය අසල පිහිටි CCTV කැමරාවක ද සටහන්ව ඇති බව සඳහන්.

අත්අඩංගුවට ගත් සැකකරු හොරණ, පොකුණුවිට ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙක්.

ඔහු අද (10) කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් පිළියන්දල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk