2026-10-08 17:38:00 Hours

භික්ෂූන් වහන්සේලා සම්බන්ධ බන්ධනාගාර නීති සංශෝධනයට කමිටුවක්


...

භික්ෂූන් වහන්සේලා බන්ධනාගාර තුළ රඳවා තබා ගැනීම සහ බන්ධනාගාරයෙන් බැහැරට රැගෙන යාම සම්බන්ධයෙන් පවතින නීති හා රෙගුලාසි සංශෝධනය කිරීම සඳහා කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

නීතිපති දෙපාර්තමේන්තුව, අධිකරණ අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය, බුද්ධශාසන අමාත්‍යාංශය සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් සමන්විතව මෙම කමිටුව පත් කිරීමට නියමිතයි.

සති දෙකක් ඇතුළත පවතින නීති හා රෙගුලාසි අධ්‍යයනය කර අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීම කමිටුවේ වගකීම වන බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

භික්ෂූන් වහන්සේලා සම්බන්ධයෙන් බලපාන කරුණු මහා සංඝරත්නය සමඟ සාකච්ඡා කර ඊට අනුරූපව නව සංශෝධන සිදුකිරීමට කටයුතු කරන බවද ඔහු පැවසුවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (08) ජනාධිපති කාර්යාලයේදී මහා සංඝරත්නය සමඟ පැවති විශේෂ සාකච්ඡාවකදීයි.

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කර ගිහි ඇඳුමින් අධිකරණයට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් මහානායක හිමිවරුන් බන්ධනාගාර කොමසාරිස්වරයා වෙත යොමු කළ ලිපිය ඇතුළු කරුණු කිහිපයක් එහිදී සාකච්ඡා කර තිබෙනවා.

වර්තමාන බන්ධනාගාර පද්ධතිය 1877 වසරේ සම්මත කළ බන්ධනාගාර ආඥා පනත, අමාත්‍යවරයා විසින් පනවන රෙගුලාසි සහ බන්ධනාගාර කොමසාරිස්වරයාගේ නිත්‍ය නියෝග මත පාලනය වන බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.

එම නීති පොදු සිරකරුවන් කේන්ද්‍ර කරගනිමින් සකස් කර ඇති අතර, භික්ෂූන් වහන්සේලා සම්බන්ධයෙන් විශේෂ විධිවිධාන පවතින්නේ සීමිත වශයෙන් බවයි ඔහු සඳහන් කළේ.

පවතින නීති අනුව බන්ධනාගාර නිලධාරීන් කටයුතු කර ඇති බැවින් ඔවුන්ට දෝෂාරෝපණය කිරීමෙන් පලක් නොමැති බවද ජනාධිපතිවරයා පැවසුවා.

එමෙන්ම, පවතින නීති වර්තමාන තත්ත්වයට නොගැළපේ නම්, පුද්ගලයන්ට අනුව නියෝග නිකුත් කිරීම වෙනුවට නිසි ක්‍රමවේදයක් යටතේ නීති සංශෝධනය කළ යුතු බවද ඔහු අවධාරණය කළා.

නව රෙගුලාසි එක් භික්ෂූන් වහන්සේ නමක් ඉලක්ක කර නොගෙන, බන්ධනාගාරගත වන සියලු භික්ෂූන් වහන්සේලා සම්බන්ධයෙන් පොදුවේ ක්‍රියාත්මක වන පරිදි සකස් කළ යුතු බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk